අනංගණ සූත‍්‍රය (උපක්ලේශ නැතිවීම ගැන වදාළ දෙසුම)

අනංගණ සූත‍්‍රය (උපක්ලේශ නැතිවීම ගැන වදාළ දෙසුම)

මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ප‍්‍රිය ආයුෂ්මත් මහණෙනි’ කියල භික්ෂුසංඝයා ඇමතුවා. ‘ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස’ කියල ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වදාළේ.“ප‍්‍රිය ආයුෂ්මත්වරුනි, මේ ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් දකින්නට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා?

01. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. නමුත් තමන් තුළ උපක්ලේශ තියෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නේ නැහැ.

02. තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. ඒ වගේ ම, ඒ පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන් ම දන්නවා.

03. තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්ලේශ නෑ. නමුත් ඒ පුද්ගලයා තමන් තුළ උපක්ලේශ නැතිබව අවබෝධයෙන් ම දන්නේ නෑ.

04. මේ ලෝකෙ තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළත් උපක්ලේශ නෑ. ඒ වගේ ම තමන් තුළ උපක්ලේශ නැතිබව අවබෝධයෙන් ම දන්නවා.

පි‍්‍රය ආයුෂ්මත්වරුනි, යම් පුද්ගලයෙක් උපක්ලේශ තමා තුළ තිබෙද්දී, තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන් ම දන්නේ නැත්නම්, උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන් ගේ ගණයටයි.

ඒ වගේ ම ප‍්‍රිය ආයුෂ්මත්වරුනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ තියෙන කොට ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම්, තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා, මේ උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙන්නාගෙන් වඩාත් උසස් පුද්ගලයන් ගේ ගණයට වැටෙන්නේ මේ පුද්ගලයායි.

ප‍්‍රිය ආයුෂ්මත්වරුනි, උපක්ලේශ තමන් තුළ නැතිව තියෙද්දී, උපක්ලේශ තමන් තුළ නැති බව අවබෝධයෙන් ම දන්නෙ නැති පුද්ගලයෙක් ඉන්නවානෙ. උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්න අතරින්, අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල උදවිය ගේ ගණයටයි.

ප‍්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්ලේශ නැති විට ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම් තමන් තුළ උපක්ලේශ නැතෙයි කියල, අන්න ඒ පුද්ගලයා අයිති වන්නේ වඩාත් උසස් පුද්ගලයන් ගේ ගණයටයි.

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. “ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල කෙනෙක් කියලත්, අනික් කෙනා වඩාත් උසස් ය කියලත් පවසන්නට හේතුව මොකක් ද? කාරණේ මොකක් ද?”

ඒ වගේ ම ”ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල ය කියන්නටත්, අනෙක් කෙනා වඩාත් උසස් ය කියන්නටත් හේතුව මොකක් ද? කාරණය මොකක් ද?”

“ප‍්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්ලේශ තිබෙද්දී, තමන් තුළ උපක්ලේශ තියෙනවා කියල අවබෝධයක් නැති පුද්ගලයෙක් ගැන මා දැන් කිව්වා නෙව. අන්න එ් පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ‘ඒ උපක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට ඕන’ කියල එයා තුළ ඕනකමක් ඇති වෙන්නෙ නෑ. උත්සාහයක් ඇති කරගන්නෙ නෑ. වීරිය ඇති කරගන්නෙ නෑ. අන්තිමේ දී, ඒ තැනැත්තාට මැරෙන්න සිද්ධ වන්නෙ රාගයත් එක්ක ම යි. ද්වේෂයත් එක්ක ම යි. මෝහයත් එක්ක ම යි. උපක්ලේශත් එක්ක ම යි. කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවෙකු ගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියල හිතමු. හැබැයි ඒ තඹ භාජනේ දූවිලි බැඳිච්ච, මළකඩ හැදිච්ච එකක්. ඉතින් ඒ අයිතිකාර උදවිය ඒ භාජනේ පාවිච්චි කරන්නෙ නැත්නම්, පිරිසිදු කරන්නෙත් නැත්නම්, දූවිලි තියෙන තැනක විසි කරලා තියෙනවා නම්, එතකොට ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒ තඹ භාජනේ කලක් යනකොට තවත් කිළිටි වෙලා, තවත් මළකඩ බැඳෙනවා නේද?”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත.”

“අන්න ඒ විදිය ම යි ප‍්‍රිය ආයුෂ්මතුනි, උපක්ලේශ තියෙන පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන් ම දන්නෙ නැත්නම්, ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ඒ පුද්ගලයාට තමන් ගේ උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙන්නෙ නෑ. උත්සාහයක් ඇති වෙන්නෙ නෑ. වීරියක් පටන් ගන්නෙ නෑ. අන්තිමේ දී, උන්නැහේට මැරෙන්න සිද්ධ වෙන්නෙ, රාගයත් එක්ක ම යි. ද්වේෂයත් එක්ක ම යි. මෝහයත් එක්ක ම යි. උපක්ලේශත් එක්ක ම යි. කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි.

නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, මං කිව්වනෙ අනිත් පුද්ගලයා ගැන. තමා තුළ උපක්ලේශ තියෙන කොට, තමා තුළ උපක්ලේශ තියෙන බව දන්න පුද්ගලයෙක් ඉන්නවා කියල. අන්න ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමැති විය යුත්තේ. ඒ උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕන කමක් ඇති වෙනවා. උත්සාහයක් ඇති වෙනවා. වීරිය පටන් ගන්නවා. ඒ නිසා ම ඒ පුද්ගලයාට රාගය නැතිව, ද්වේෂය නැතිව, මෝහය නැතිව, උපක්ලේශ නැතිව, කිළිටි සිතක් නැතිව මැරෙන්න අවස්ථාව ලැබෙනවා.

ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවෙකු ගේ ගෙදරකින් හරි, තඹ භාජනයක් ගෙනාවා කියල හිතමු. හැබැයි ඒක දූවිලි බැඳිච්ච එකක්. මළකඩ හැදිච්ච එකක්. ඒත් ඒකෙ අයිතිකාරයො ඒ භාජනේ පාවිච්චියට ගන්නවා. හොඳට පිරිසිදු කරනවා. දූවිලි තියෙන තැන් වලට වීසි කරන්නෙ නෑ. අන්න එතකොට ප‍්‍රිය ආයුෂ්මතුනි, කලක් යනකොට ඒ තඹ භාජනේ හරිම ලස්සනට දිලිසෙන්න පටන් ගන්නවා නේද?”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදියම යි, යම් කිසි පුද්ගලයෙක් තුළ උපක්ලේශ තිබුණත්, තමා තුළ උපක්ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නවා නම්, ඒ තැනැත්තා කැමති විය යුත්තේ මේක යි. ඒ උපක්ලේශයන් ගෙන් නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙනවා. උත්සාහයක් ඇති වෙනවා. වීරිය පටන් ගන්නවා. ඒ තැනැත්තාට රාගයකින් තොරව, ද්වේෂයකින් තොරව, මෝහයකින් තොරව, උපක්ලේශ වලින් තොරව, කිළිටි සිතින් තොරව, මරණයට පත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

ප‍්‍රිය ආයුෂ්මතුනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නෑ. නමුත් තමන් තුළ උපක්ලේශ නැතිබව ඒ පුද්ගලයා දන්නෙ නෑ. ඒ නිසා ඒ පුද්ගලයා කැමැති විය යුත්තේ මෙයයි. ඔහු අරමුණු (රාගය ඇති වන විදියටඑ) සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගය විසින් ඔහු ගේ සිත ගිල ගන්නවා. අන්තිමේ දි ඒ පුද්ගලයාට මැරෙන්න සිද්ධ වෙන්නෙ රාගයත් එක්ක ම යි. ද්වේෂයත් එක්ක ම යි. මෝහයත් එක්ක ම යි. කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවෙකු ගේ ගෙදරකින් හරි තඹ භාජනයක් අරගෙන ආවා කියල හිතමු. ඒක ඉතා පිරිසිදු දිලිසෙන එකක්. එ් වුණාට එ්කෙ අයිතිකාරයො එ් තඹ භාජනේ පාවිච්චි කරන්නෙ නෑ. පිරිසිදු කරන්නෙ නෑ. දූවිලි ගොඬේ විසි කරල තියෙනවා. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඉතින් කාලයක් යනකොට ඒ තඹ භජනේ කිළිටි වෙලා, මලකඩ බැඳිල යනවා නේ ද?”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, එ්ක ඇත්ත.”

“අන්න ඒ විදිය ම යි ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒ පුද්ගලයා උපක්ලේශ නැතිව හිටියත්, තමන් තුළ උපක්ලේශ නැතිබව අවබෝධ නො වෙච්ච නිසා කැමති වෙන්න තියෙන්නෙ මෙච්චරයි. ඔහු අරමුණු (රාගය ඇති වෙන විදියට) සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. සුභ වශයෙන් අරමුණු සිහි කරන්න පුරුදු වෙච්ච නිසා, රාගය විසින් ඔහු ගේ සිත ගිලගන්නවා. අන්තිමේ දී ඒ තැනැත්තාට රාගයත් එක්ක ම යි, ද්වේෂයත් එක්ක ම යි, මෝහයත් එක්ක ම යි, උපක්ලේශත් එක්ක ම යි, කිළිටි වෙච්ච සිතක් එක්ක ම යි මැරෙන්න සිද්ධ වෙන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒ වගේ ම තමයි තව පුද්ගලයෙක් ඉන්නවා ඊට වෙනස්. තමා තුළ උපක්ලේශ නැති නම්, උපක්ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා කැමැති විය යුත්තේ මෙයයි. ඔහු අරමුණු (රාගය ඇති වන ආකාරයට) සුභ වශයෙන් සිහි කරන්නේ නෑ. සුභ වශයෙන් අරමුණු සිහි කරන්නෙ නැති නිසා, රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා මරණයට පත් වෙන්නෙ, රාගය නැතුවයි. ද්වේෂය නැතුවයි. මෝහය නැතුවයි. උපක්ලේශ නැතුවයි. කිළිටි සිතක් නැතුවයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන් කරුවකු ගේ ගෙදරකින් හරි, තඹ භාජනයක් අරගෙන ආවා කියල හිතමු. ඒක ගොඩාක් පිරිසිදු, දිලිසෙන එකක්. ඒ වගේ ම ඒකෙ අයිතිකාරයොත් ඒ තඹ භාජනේ පාවිච්චි කරනවා. පිරිසිදු කරනවා. දූවිලි තියෙන තැන්වල දාන්නේ නෑ. ප‍්‍රිය ආයුෂ්මතුනි, එතකොට, කලක් යනකොට ඒ තඹ භාජනේ ගොඩාක් පිරිසිදු වෙනවා. තවත් ලස්සනට දිලිසෙනවා නේද?”

“ඔව්, ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒක ඇත්ත”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔය විදියට ම තමයි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැත්නම්, තමන් තුළ උපක්ලේශ නැතිබව අවබෝධයෙන් ම දන්නවා නම්, ඔහු කැමති වෙන්න ඕන මෙච්චර යි. ඔහු අරමුණු (රාගය ඇති වන ආකාරයට) සුභ වශයෙන් සිහි කරන්නේ නෑ. අරමුණු සුභ වශයෙන් සිහි නො කරන නිසා, රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා රාගය නැතුව ම යි, ද්වේෂය නැතුව ම යි, මෝහය නැතුව ම යි, උපක්ලේශ නැතුව ම යි, මරණයට පත් වෙන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අර උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නා ගෙන් එක්කෙනෙක් ගොඩාක් දුර්වලයි කියන්නටත්, අනිත් එක්කෙනා ගොඩාක් උසස් කියන්නටත් හේතුව ඕක තමයි. කාරණෙත් ඕක තමයි. ඒ වගේ ම ප‍්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අර උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් ගොඩක් දුර්වලයි කියන්නටත්, අනෙක් කෙනා ගොඩක් උසස් කියන්නටත් හේතුව ඕක තමයි. කාරණය ඕක තමයි.”

“ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ‘උපක්ලේශ, උපක්ලේශ’ කියල කියනවා. ඇත්තෙන් ම ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ උපක්ලේශ කියන නම යොදන්නෙ මොන වගේ දේකට ද?”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔය උපක්ලේශ කියන නම යොදන්නෙ ලාමක ආශාවන්ට අනුව සිත පවත්වන්නට යෑමෙන් හටගන්නා පාපී අකුසල් වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ විදියෙ දේවල් දකින්නට ලැබෙනවා. ඔන්න එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහුට මේ විදියේ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වුනා. ඒ වුනාට මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වෙච්ච බව අනිත් භික්ෂුන් නො දන්නා එක තමයි හොඳ’ කියල. ප‍්‍රිය ආයුෂ්මතුනි, එතකොට මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. අනෙක් භික්ෂූන් වහන්සේලාට අර භික්ෂුව ගේ වරද දැනගන්න ලැබෙනවා. එතකොට ඒ භික්ෂුව ‘දැන් මේ භික්ෂුන් වහන්සේලාත් මගෙන් වෙච්ච වැරැද්ද දැනගත්තා නෙව දැ’ යි කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මෙහෙම දේවලූත් දකින්නට ලැබෙනවා. යම් කිසි භික්ෂුවකට මේ විදියෙ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වෙච්ච බව ඇත්ත. ඒ වුනාට භික්ෂූන් වහන්සේලා මේ වැරැද්ද ගැන සංඝයා මැද්දේ මට චෝදනා කරන්නෙ නැතිව, රහසේ කතා කරන එක තමයි හොඳ’ කියල. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. අර භික්ෂුව ගේ වැරැද්ද ගැන භික්ෂූන් වහන්සේලා රහසේ කතා කරන්නෙ නැතිව, සංඝයා මැද්දෙ චෝදනා කරනවා. එතකොට ඒ භික්ෂුව ‘මගේ වැරැද්ද ගැන භික්ෂූන් වහන්සේලා මාත් එක්ක පුද්ගලිකව කතා කරන්නෙ නැතිව සංඝයා මැද්දේ මට චෝදනා කළා නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ විදියෙ දේකුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නේ මේ විදියෙ ලාමක ආශාවක්. ‘මගේ අතින් මේ වැරැද්ද සිද්ධ වුනා තමයි. ඒ වුනාට ඒ ගැන මට චෝදනා කළ යුත්තේ ඊට ගැලපෙන කෙනෙක් විසිනුයි. නො ගැලපෙන පුද්ගලයන් ඒ ගැන මාත් එක්ක කතා කරන්න ඕන නෑ’ කියල. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔහු හිතපු එක නෙවෙයි සිද්ධ වෙන්නෙ. අර භික්ෂුවට ගැලපෙන පුද්ගලයෙක් ඒ වැරැද්ද ගැන චෝදනා කරන්නේ නෑ. නො ගැලපෙන කෙනෙක් තමයි චෝදනා කරන්නෙ. එතකොට අර භික්ෂුව ‘මේක හරි වැඩක් නෙව. මට ගැලපෙන කෙනෙක් එපා යැ මේ වැරැද්ද ගැන මට චෝදනා කරන්න. නමුත් චෝදනා කරන්නෙ මේ ගැන මට නො ගැලපෙන කෙනෙකු විසින් නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේකුත් දකින්න ලැබෙනවා. යම් කිසි භික්ෂුවකට මේ විදියේ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘අනේ ඇත්තෙන් ම ශාස්තෘන් වහන්සේ වෙන භික්ෂුවක ගෙන් ධර්ම කරුණු විමස විමසා භික්ෂූන්ට දහම් දෙසන්නෙ නැතුව, මගෙන් ම විතරක් ධර්ම කරුණු විමස විමසා භික්ෂූන්ට දහම් දෙසනවා නම් කොයි තරම් හොඳයි ද’ කියලා. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙන දෙයක්. ශාස්තෘන් වහන්සේ ධර්මය දේශනා කරද්දී, අර භික්ෂුවගෙන් ධර්ම කරුණු විමසන්නෙ නෑ. වෙන භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමස විමසා ධර්මය දේශනා කරනවා. එතකොට ඒ භික්ෂුව ‘ශාස්තෘන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්ම කරුණු මගෙන් විමසන්නෙ නෑ නෙව, වෙන භික්ෂූන් ගෙන් ධර්ම කරුණු විමස විමසා නෙව ධර්මය දේශනා කරන්නෙ’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවක් තුළ ඇති වෙන්නෙ මේ විදියේ ලාමක ආශාවක්. ‘මේ භික්ෂූන් ගමට දානෙට වඩිද්දී, වෙන භික්ෂුවක් ඉස්සරහින් වඩම්මවා ගෙන යන්නෙ නැතිව මාව ම ඉස්සරහින් වඩම්මවා ගෙන ගමට දානෙට වඩිනවා නම් ඒක නෙව හොඳ’ කියල. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. ඒ භික්ෂූන් දානෙට වඩින කොට වෙනත් භික්ෂුවක් ඉස්සරහින් වඩම්මවා ගෙන යනවා. අර භික්ෂුවට ඉස්සරහින් වඩින්න ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘මේ භික්ෂූන් වහන්සේලා ගමේ දානෙට වඩිනකොටත්, ඉස්සරහට ගන්නෙ වෙන භික්ෂුවක් ම යි. මාව ඉස්සරහින් වඩම්මවා ගෙන යන්නේ නැහැ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවලූත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ විදියේ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘දාන ශාලාවෙ දි මුල් පුටුවත්, ඉස්සෙල්ලා ම ලැබෙන දන්-පැනුත් ලැබෙන්න ඕන මටයි. වෙන භික්ෂුවකට ඒ මුල් පුටුවත්, ඉස්සෙල්ල ම ලැබෙන දන්-පැනුත් ලැබෙන්නේ නැත්නම් කොයි තරම් හොඳ ද’ කියල. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. දාන ශාලාවෙ දී මුල් පුටුවත්, ඉස්සෙල්ල ම ලැබෙන දන්-පැනුත් වෙන භික්ෂුවකට ලැබෙනවා. අර භික්ෂුවට මුල් පුටුව ලැබනේනේ නෑ. ඉස්සෙල්ල ම ලැබෙන දන්-පැනුත් ලැබෙන්නේ නෑ. එතකොට ඒ භික්ෂුව, ‘එතකොට මූලාසනේ වත්, ඉස්සෙල්ල ම ලැබෙන දන්-පැන් වත් මට ලැබෙන්නෙ නෑ. එහෙම නම් මූලාසනෙත්, ඉස්සෙල්ලම ලැබෙන දන්-පැනුත් ලැබෙන්නෙ වෙන භික්ෂුවකට ඈ!’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න එ් කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ ආකාරයේ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘අනේ! මං තමයි දාන ශාලාවෙ දී දන් වැළඳුවාට පස්සෙ, අනුමෝදනා බණ කියන්නෙ. දන් ශාලාවේ දී දන් වැළඳුවාට පස්සෙ වෙන භික්ෂුවක් අනුමෝදනා බණ කියන්නෙ නැත්නම් කොයි තරම් හොඳ ද’ කියලා. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. අර භික්ෂුවට දාන ශාලාවෙ දන් වළඳලා අවසන් වුනාට පස්සෙ අනුමෝදනා බණ කියන්නට ලැබෙන්නෙ නෑ. වෙනත් භික්ෂුවකටයි දාන ශාලාවේ දන් වැළඳුවට පස්සෙ අනුමෝදනා බණ ලැබෙන්නෙ. එතකොට ඒ භික්ෂුව ‘දාන ශාලාවේ දී දන් වැළඳුවාට පස්සෙ, අනුමෝදනා බණ කියන්නෙත් වෙනින් භික්ෂුවක්. දාන ශාලාවේ දී දන් වැළඳුවාට පස්සෙ, අනුමෝදනා බණ ටිකවත් කියන්න මට ලැබෙන්නෙ නෑ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ වගේ දේවලූත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නෙ මේ විදියේ ලාමක ආශාවක්. ‘මම තමයි අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නෙ. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට වෙන භික්ෂුවක් බණ කියන්න අවශ්‍ය නෑ’ කියලා. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ ඊට වෙනස් දෙයක්. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට වෙන භික්ෂුවක් තමයි බණ කියන්නෙ. අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්න ඒ භික්ෂුවට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නෙත් වෙන භික්ෂුවක්. එතකොට අරමට වඩින භික්ෂූන් වහන්සේලාට බණ කියන්නටවත් මට ලැබෙන්නෙ නෑ’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ වගේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නෙ මේ විදියේ ලාමක ආශාවක්. ‘අරමට පැමිණෙන භික්ෂුණීන්ට බණ කියන්නෙ මං විතරයි …. (පෙ) …. උපාසකවරුන්ට බණ කියන්නෙත් මං විතරයි …. (පෙ) …. උපාසිකාවන්ට බණ කියන්නෙත් මං විතරයි. අරමට එන උපාසිකාවන්ට වෙන භික්ෂුවක් බණ කියන්නෙ නැත්නම් කොයි තරම් හොඳ ද’ කියල. ප‍්‍රිය ආයුෂ්මතුනි, නමුත් සිද්ධ වෙන්නෙ මේ විදිහේ දෙයක්. අරමට එන උපාසිකාවන්ට වෙන භික්ෂුවක් බණ කියන්නෙ. අරමට එන උපාසිකාවන්ට බණ කියන්න අර භික්ෂුවට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘අරමට එන උපාසිකාවන්ට බණ කියන්නෙත් වෙන භික්ෂුවක්. අරමට එන උපාසිකාවන්ට බණ ටිකක් කියා ගන්නවත් අවස්ථාවක් නෑ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් කියන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදියේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නෙ මේ විදියේ ලාමක ආශාවක්. ‘අනේ! මට විතර ම යි මේ භික්ෂූන් වහන්සේලා හොඳ හොඳ පිරිකරත්, ගරු බුහුමනුත්, සත්කාර සම්මානත්, පුද පූජාත් ලබා දෙන්න ඕන. මේ භික්ෂූන් වහන්සේලා වෙනත් භික්ෂුවකට හොඳ හොඳ පිරිකරත්, ගරු බුහුමනුත්, සත්කාර-සම්මානත්, පුද පූජාත් කරන්නෙ නැත්නම් කොයි තරම් හොඳ ද’ කියලා. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනත් දෙයක්. ඒ භික්ෂූන් ගරු බුහුමන්, පුද පූජා, සත්කාර-සම්මාන, පිරිකර පූජාවන් කරන්නේ වෙන භික්ෂුවකටයි. ඒ භික්ෂූන් අර භික්ෂුවට ගරු බුහුමන්, සත්කාර සම්මානත්, පිරිකර පූජාවනුත් කරන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘ඒ භික්ෂූන් වහන්සේලා පුද-පූජා, සත්කාර-සම්මාන කරන්නේ වෙන භික්ෂුවකට. ඇයි මට පුද-පූජා, සත්කාර සම්මාන කළා ම නරක ද?’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදියේ දේවල් පවා දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නෙ මේ විදියේ ලාමක ආශාවක්. ‘මේ භික්ෂුණීන් පුද-පූජාවලූයි, ගරු බුහුමනුයි, සත්කාර සම්මානයි කරන්න ඕන මට විතර ම යි. …. (පෙ) …. මේ උපාසකවරු …. (පෙ) …. මේ උපාසිකාවන් පුද පූජාවන්, ගරු බුහුමන්, සත්කාර සම්මාන කරන්න ඕන මට විතර ම යි. මේ උපාසිකාවන් වෙනත් භික්ෂුවකට පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන කරන්න අවශ්‍ය නෑ’ කියල. ප‍්‍රිය ආයුෂ්මතුනි, හැබැයි සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. ඒ උපාසිකාවන් ගෙන් පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන ලැබෙන්නෙ වෙන භික්ෂුවකට. ඒ උපාසිකාවන් ගෙන් අර භික්ෂුවට පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘මේ උපාසිකාවන් පුද පූජාවල්, ගරු බුහුමන්, සත්කාර සම්මාන කරන්නේ වෙනත් භික්ෂුවකට නෙව. මේ උපාසිකාවන් පුද පූජා, ගරු බුහුමන්, සත්කාර සම්මාන මට කළා නම් මොකද වෙන්නෙ?’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදියේ දේවලූත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මේ විදියේ ලාමක ආශාවක් ඇති වෙනවා. ‘මට විතර ම යි හොඳ හොඳ සිවුරු ලැබෙන්න ඕන. වෙන භික්ෂුවකට හොඳ සිවුරු ලැබිල මොනවා කරන්න ද?’ කියල. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. හොඳ හොඳ සිවුරු ලැබෙන්නෙ වෙන භික්ෂුවකටයි. අර භික්ෂුවට හොඳ හොඳ සිවුරු ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘හොඳ හොඳ සිවුරු ටික ලැබෙන්නෙත් වෙන භික්ෂුවකටයි. හොඳ හොඳ සිවුරු මට ලැබෙන්නෙ නැහැ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, ඒ අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

ප‍්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදියේ දේවලූත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මෙවැනි ලාමක ආශාවක් ඇති වෙනවා. ‘මට විතර ම යි ප‍්‍රණීත විදියට දානෙ ටික ලැබෙන්න ඕන …. (පෙ) …. මට විතර ම යි හොඳ හොඳ ආවාස ගෙවල් ලැබෙන්න ඕන …. (පෙ) …. මට විතර ම යි හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් ටික ලැබෙන්න ඕන. අනිත් භික්ෂූන්ට හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් අවශ්‍ය වෙන්නෙ නෑ’ කියල. නමුත් ප‍්‍රිය ආයුෂ්මතුනි, සිද්ධ වෙන්නෙ වෙනින් දෙයක්. අනිත් භික්ෂූන් වහන්සේලාට තමයි හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් ලැබෙන්නෙ. අර භික්ෂුවට හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් වර්ග ලැබෙන්නෙ නෑ. එතකොට ඒ භික්ෂුව ‘හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් වර්ග ලැබෙන්නෙත් වෙන භික්ෂුවකට නෙව. මට හොඳ හොඳ ගිලන්පස, බෙහෙත් ලැබෙන්නෙ නැහැ නෙව’ කියල කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ කේන්තියත්, අමනාපයත් යන දෙක ම අයිති වෙන්නෙ උපක්ලේශ වලටයි.

පි‍්‍රය ආයුෂ්මතුනි, හිතේ උපදින ලාමක ආශාවන්ට අනුව වැඩකරන්න ගිහින් හටගන්නා මේ පාපී අකුසල් වලටයි ‘උපක්ලේශ’ කියන නම දාල තියෙන්නෙ.

පි‍්‍රය ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වෙලා, ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ලා හටගත් මේ පාපී අකුසල් ප‍්‍රහීණ වෙලා නෑ කියල දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව කොයිතරම් අරණ්‍යවාසී කෙනෙක් වුනත්, කොයිතරම් ඈත වනාන්තරේක කුටියක හිටියත්, කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුනත්, කොයිතරම් ගෙපිළිවෙළින් පි`ඩු සිඟා වැඩියත්, කොයිතරම් පාංශුකූල සිවුරු දැරුවත්, කොයිතරම් රළු සිවුරු දැරුවත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නෙ නෑ. ගරු කරන්නෙ නෑ. බුහුමන් දක්වන්නෙ නෑ. පූජා කරන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ? ඒ ආයුෂ්මතුන් ගෙ හිතේ ඇති වෙච්ච ලාමක ආශාවන් අනුව හැසිරෙන්න ගිහින්, හට ගත්තු අකුසල් නැති වෙලා නැති බව පේන නිසයි, අසන්න ලැබෙන නිසයි එහෙම වෙන්නෙ.

පි‍්‍රය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන්කරුවෙකුගෙ ගෙදරකින් හරි, තඹ භාජනයක් ගෙනාවා කියල හිතමු. ඒක හරි ම පිරිසිදු එකක්. ලස්සනට දිලිසෙන එකක්. නමුත් ඒකෙ අයිතිකාරයො ඒ භාජනය ඇතුළට සර්ප කුණක් හරි, බලූ කුණක් හරි, මිනී කුණක් හරි දානවා. දාල තව ලස්සන තඹ භාජනයකින් වහනවා. ඊට පස්සෙ ඒ භාජනය කඩ පිල් මැද්දෙන් මහා ඉහළින් උස්සගෙන යනවා. මිනිස්සුන්ට මේක දකින්න ලැබෙනවා. මේ ගැන කතා බස් කරන්න පටන් ගන්නවා. ‘හැබෑට ම පින්වත්නි, ඔය මහ ඉහළින් උස්සගෙන යන්නෙ අපි කවුරුත් ආස කරන ජාතියක් වෙන්න ඕන’ කියල. අන්තිමේ දී ඒ මිනිස්සු ඒ භාජනේ පියන ඇරල බලනවා. ඒ පියන අරිනකොට ම දකින්න ලැබෙන්නෙ අර ගඳ ගහන මළකුණ. ඒ එක්ක ම ඒ මිනිස්සු තුළ අමනාපයක් ඇති වෙනවා. පිළිකුලක් ඇති වෙනවා. අප්පිරියාවක් ඇති වෙනවා. බඩගිනි වෙලා හිටිය උදවිය ගෙ බඩගින්නත් නැති වෙනවා. කාපු බීපු උදවිය ගැන කවර කතා ද? පි‍්‍රය ආයුෂ්මතුනි, අන්න ඒ විදිය ම යි යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වෙලා, ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ල ඇති වෙච්ච මේ පාපී අකුසල් නැති වෙලා නෑ කියල දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව කොයිතරම් අරණ්‍යවාසී වුනත්, කොයිතරම් ඈත වනාන්තරේක කුටියක හිටියත්, කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුනත්, කොයිතරම් ගෙපිළිවෙළින් පිණ්ඩපාතෙ වැඩියත්, කොයිතරම් පාංශුකූල සිවුරු දැරුවත්, කොයිතරම් රළු සිවුරු දැරුවත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නෙ නෑ. ගරු කරන්නෙ නෑ. බුහුමන් දක්වන්නෙ නෑ. පූජා කරන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ? ඒ ආයුෂ්මතුන් ගේ හිතේ ඇති වෙච්ච ලාමක ආශාවන්ට අනුව හැසිරෙන්න ගිහින්, හටගත් මේ අකුසල් නැති වෙලා නැති බව පේන නිසයි, අසන්න ලැබෙන නිසයි.

පි‍්‍රය ආයුෂ්මතුනි, යම් කිසි භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇති වන ගතිය ප‍්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව ගමේ අරමක වැඩසිටියත්, ආරාධනාවන් පිළිගත්තත්, ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා. බුහුමන් දක්වනවා. සත්කාර කරනවා. පූජා කරනවා. ඇයි එහෙම කරන්නෙ? ඒ භික්ෂුව තුළින් ලාමක ආශාවන් අනුව කටයුතු කරන්න ගිහින් ඒ අනුව හටගන්නා පාපී අකුසලයන් ඇති වන ස්වභාවය ප‍්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසයි, අසන්න ලැබෙන නිසයි.

පි‍්‍රය ආයුෂමතුනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි, රන්කරුවෙකු ගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියල හිතන්න. ඒක හරි පිරිසිදුයි. ලස්සනට දිලිසෙනවා. ඒකෙ අයිතිකාරයො ඒ භාජනයට ඇල් හාලේ බතුයි, ප‍්‍රණීත විදියට උයාගත්ත සූප ව්‍යංජනයි දාලා, වෙන තඹ භාජනයකින් වහනවා. ඊට පස්සෙ මහා ඉහළින් කඩ පිල් මැද්දෙන් උස්සගෙන යනවා. මිනිස්සුන්ට ඒක දකින්න ලැබෙනවා. මිනිස්සු ඒ ගැන කතා වෙනවා. ‘පින්වත්නි, හැබෑට ම මේ මහ ඉහළින් උස්සගෙන යන්නෙ මේ භාජනේ ඇතුළේ අපි කවුරුත් ආස කරන දෙයක් තියෙන නිසා වෙන්න ඕන.’ අන්තිමේ දී ඔවුන් ඒ භාජනේ ඇරල බලනවා. ඒ භාජනේ අරිනවත් එක්ක ම ප‍්‍රණීත වෑංජන පිරිවරා ගත්තු රසවත් ඇල් හාලේ බතයි දකින්න ලැබෙන්නෙ. ඒක දකිනකොට ම හරිම සතුටක් ඇති වෙනවා. අප්පිරියාවක් නම් ඇති වෙන්නෙ නෑ. හොඳට කාල බීලා, බඩ පිරිච්ච උදවියට පවා ආයෙමත් කන්න ආස හිතෙනවා. බඩගිනි උදවිය ගැන කවර කතා ද?

පි‍්‍රය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහ ම යි යම් කිසි භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වන ගතිය, ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇති වන ගතිය ප‍්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුනොත්, අසන්න ලැබුනොත්, ඒ භික්ෂුව ගමේ අරමක වැඩසිටියත්, ආරාධනාවන් පිළිගත්තත්, ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළත්, පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා. බුහුමන් දක්වනවා. සත්කාර කරනවා. පූජා කරනවා. ඇයි එහෙම කරන්නෙ? ඒ භික්ෂුව තුළින් ලාමක ආශාවන් ඇති වන ගතිය, එ් අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇති වන ගතිය ප‍්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසයි, අසන්න ලැබෙන නිසයි.”

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ, මෙහෙම කිව්වා.

“ආයුෂ්මත් සාරිපුත්ත, මට මේ ගැන උපමාවක් මතක් වුණා.”

“පි‍්‍රය ආයුෂ්මත් මොග්ගල්ලාන, මොකක් ද ඒ උපමාව?”

“පි‍්‍රය ආයුෂ්මතුනි, ගිරිබ්බජ කියල හඳුන්වන රජගහ නුවර තමයි මං ඒ දවස්වල හිටියේ. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, මං එදා සිවුරු පොරවාගෙන, පාත්තරෙත්, සිවුරුත් අරගෙන රජගහ නුවරට පිණ්ඩපාතෙ වැඩියා.

එදා එහෙ කරත්ත හදන බාසුන්නැහේ ගේ ‘සාමීති’ කියන පුතා කරත්තයකට රෝදයක් සහිනවා. ඔතනට ආවා ‘පණ්ඩුපුත්ත’ කියන තාපසයා. එයත් ඉස්සර කරත්ත බාස් කෙනෙකු ගේ පුතෙක්. ඉතින් ඒ කරත්ත බාස් කෙනෙකු ගේ පුතෙක් වෙච්ච පණ්ඩුපුත්ත තාපසයටත් මේ විදියේ අදහසක් ඇති වුණා. ‘කරත්ත බාස් ගේ පුතෙක් වන මේ සාමීතී, රෝදයක් සහිනවා. මේ රෝදයේ මේ පැත්තෙ ඇදයක් තියෙනවා. අනිත් පැත්තෙත් ඇදයක් තියෙනවා. මේ මේ දෝෂයන් සහිනවා නම් තමයි හොඳ, එතකොට තමයි මේ රෝදෙ ඇද කුද නැතිව, දොස් නැතිව, හොඳ හැටියට අරටුවේ පිහිටන්නෙ’ කියලා. ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, ඒ වෙලාවෙ අර පරණ කරත්ත බාස් ගේ පුතා වන පණ්ඩුපුත්ත තාපසයා හිතන හිතන විදියට ම, මේ කරත්ත බාස් ගෙ පුතා වන සාමීති, ඒ ඒ ඇදත්, ඒ ඒ නැම්මත්, ඒ ඒ දෝෂත් සැහැලා දැම්මා.

ඉතින් ප‍්‍රිය ආයුෂ්මතුනි, එතකොට අර පරණ කරත්ත බාස් ගේ පුතා වෙච්චි පණ්ඩුපුත්ත තාපසයට හරි ම සතුටුයි. උන්නැහේ සතුටින් මෙහෙම කිව්වා. ‘ඇත්තෙන් ම මේක සහින්නෙ හදවතකින් හදවතක් දැනගෙන වගේ නෙව කියලයි මට හිතෙන්නෙ’ කියලා.

‘ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදියට ම යි. කිසිම ශ‍්‍රද්ධාවක් නැතුව, ලෞකික ජීවිතේ ම ගත කරන්නට හිතාගෙන ගිහි ජීවිතේ අත්හැරලා මරණ වෙන උදවිය ඉන්නවා. මහණ වුනාට පස්සෙ ඔවුන් හරි ම කපටියි. ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා. කට්ටකම් ම යි පුරුදු වෙලා තියෙන්නෙ. ඒ වගේ ම හරි ම අහංකාරයි. හිතට අරගෙන ඉන්නෙ. චපලයි. ආයෙ ඉතින් කතා කරල බේරෙන්න බෑ. කතාව පටන් ගත්තු ගමන් ම යි ඉන්නෙ. ඉන්ද්‍රිය සංවරත් නෑ. කන බොන එකේ ප‍්‍රමාණෙ දන්නෙත් නෑ. භාවනා කිරීමක් ඇත්තෙත් නෑ. නිදි වරා ගෙන ධර්මයේ හැසිරීමකුත් නෑ. මාර්ග-ඵල ලැබීමක් ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. සීල සමාධි ප‍්‍රඥා ගැන කිසි ගෞරවයකුත් නෑ. සිව්පසය ගොඩගහගැනිල්ලක් විතරයි තියෙන්නෙ. නිවන් මඟ හෑල්ලූ කරනවා. ඉස්සරහට ඇදල ගන්නෙ හිත පිරිහෙන දේවල් ම යි. භාවනාවෙන් හුදෙකලාවේ ඉන්න කිසිම අදහසක් නෑ. කුසීතයි. වීරියක් නෑ. සිහි මුලාවෙනුයි ඉන්නෙ. නුවණින් තොරයි. සිතේ සංසිඳීමක් නෑ. විසුරුණු සිතින් ඉන්නේ. ප‍්‍රඥාවක් නෑ. මෝඩයි. ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ධර්ම දේශනාවෙන් අන්න ඒ උදවිය ගේ හදවත් සැහැල දානවා කියලයි මට හිතෙන්නෙ.”

“ප‍්‍රිය ආයුෂ්මතුනි, මහත් ශ‍්‍රද්ධාවකින් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙන පින්වත් තරුණ දරුවන් ඉන්නවා. ඔවුන් මහණ වුනාට පස්සෙ කපටි නෑ. ගුණවතුන් ගේ වෙස් අරගෙන අමුතු රඟපෑමකුත් නෑ. කට්ටකම් පුරුදු වෙන්නෙත් නෑ. ආඩම්බරත් නෑ. හිතට අරගෙනත් නෑ. චපලත් නෑ. කට වාචාලත් නෑ. හැම තිස්සෙ ම දොඩවන්නෙත් නෑ. ඉන්ද්‍රිය සංවරයි. කන බොන එකේ ප‍්‍රමාණයත් දන්නවා. නිදි වරාගෙන බණ භාවනාත් කරනවා. මාර්ගඵල අවබෝධයක් ලබාගන්න ම යි හිත හිත ඉන්නෙ. සීල සමාධි ප‍්‍රඥා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සිව්පසය ගොඩගැහිල්ලකුත් නෑ. නිවන් මග හෑල්ලූවට ලක් කරන්නෙත් නෑ. හිත පිරිහෙන විදියේ දේවල් අත්හරිනවා. භාවනාවෙන් හුදෙකලාවේ කල් ගත කරන්න ම යි හිතන්නෙ. පටන් ගත් වීරිය තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා. සිතත් සමාහිතයි. ප‍්‍රඥාවන්තයි. මෝඩ නෑ. ඉතින් ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ මේ දේශනාව අහලා, අන්න ඒ පින්වත් භික්ෂූන් වහන්සේලා වචන වලිනුත්, මනසිනුත් මෙය පානය කරාවි කියලයි, අනුභව කරාවි කියලයි මට හිතෙන්නෙ. ඇත්තෙන් ම පි‍්‍රය ආයුෂ්මතුනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව අකුසල් වලින් බේරගෙන, කුසල් දහම්වල පිහිටුවන එක කොයිතරම් ලොකු දෙයක් ද?

පි‍්‍රය ආයුෂ්මතුනි, මට මේ ගැන හිතෙන්නෙ මේ විදියටයි. ලස්සනට ඉන්න කැමති, තරුණ දුවෙක් හරි, පුතෙක් හරි ඉන්නවා. ඉතින් එයාලා හිස පටන් හොඳට වතුර නානවා. ඊට පස්සෙ එයාලට නෙළුම් මල් මාලයක් හරි, පිච්ච මල් මාලයක් හරි, මොකක් හරි අළුත් මල් මාලයක් ලැබෙනවා. එතකොට එයාල හරි සතුටින් ඒවා දෝතින් ම පිළිගන්නවා. ශරීරයේ උත්තම අංගය වන ‘හිස’ මත ලස්සනට පැළඳගන්නවා.

ප‍්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහම යි, මහත් ශ‍්‍රද්ධාවකින් ගිහි ජීවිතේ අතහැරලා මහණ වෙන පින්වත් තරුණ දරුවන් ඉන්නවා. ඉතින් මහණ වුනාට පස්සෙ කිසි කපටි කමක් නෑ. ගුණවතුන් ගේ වෙස් අරගෙන රඟපෑමක් නෑ. ආඩම්බර නෑ. හිතට අරගෙන නෑ. චපල නෑ. කට වාචාල නෑ. හැම තිස්සෙ ම දොඩවන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරයි. කන බොන එකේ ප‍්‍රමාණය දන්නවා. නිදි වරාගෙන බණ භාවනා කරනවා. මාර්ග ඵල අවබෝධයක් ලබා ගන්න ම යි හිත හිත ඉන්නෙ. සීල සමාධි ප‍්‍රඥා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සිව්පසය ගොඩ ගැහිල්ලකුත් නෑ. නිවන් මග හෑල්ලූවට ලක් කරන්නේ නෑ. හිත පිරිහෙන දේවල් අත් හරිනවා. හුදෙකලාවේ භාවනාවෙන් කල් ගත කරන්නට ම යි හිතන්නෙ. පටන් ගත් වීරියෙන් යුක්තයි. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා. සතිපට්ඨානයේ ම යි සිහිය පිහිටුවාගන්නෙ. අවබෝධයක් තියෙනවා. සිතත් සමාහිතයි. ප‍්‍රඥාවන්තයි. මෝඩ නෑ. ඉතින්, පි‍්‍රය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ මේ දේශනාව අහල, අන්න ඒ වගේ පින්වත් භික්ෂූන් වහන්සේලා වචන වලිනුත්, මනසිනුත් මෙය පානය කරාවි කියලයි, අනුභව කරාවි කියලයි මට නම් හිතෙන්නෙ. ඇත්තෙන් ම, ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව අකුසල් වලින් බේරගෙන කුසල් දහම්වල පිහිටුවන එක කොයි තරම් හොඳ දෙයක් ද?මේ ආකාරයෙන් ඒ මහ රහතන් වහන්සේලා දෙනම ඔවුනොවුන් වදාළ මේ සුන්දර ධර්මය ගැන ගොඩක් සතුටු වුණා. අනුමෝදන් වුණා.

About The Author

Related posts

1 Comment

  1. Dr Tissa Senanayake

    අංගන කියන්නේ උපක්ලේශ නොවෙයි. මේ සුත්රයේම තියනවා අංගන කියන්නේ කැමැත්ත හා කැමැත්ත ඉටුනොවීම නිසා ඇතිවන අකමැති ස්වභාවය කියල.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *