එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව

එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව

ගෘහස්ථ ජීවිතය, රැකියාවේ වැඩකටයුතු හා සමාජ වගකීම් අතර සිර වී ජීවත් වන අපට සිතේ එකඟතාව, නැණ—නුවණ දියුණු කරන විපස්සනා භාවනාව වැඩීම මහත් අසීරු කටයුත්තකි. එහෙත් මේ සියලු වැඩකටයුතු හා වගකීම් අතරතුර භාවනාවට අවතීර්ණ වී, එයින් ජීවිතය සුවපත් හා ආලෝකවත් කරගත හැකි ය. වෛද්‍ය තයන් තයන් මහත්මිය අපට කියා දෙන්නේ සාම්ප්‍රදායික ථේරවාද බුදුදහමේ ඉගැන්වෙන විපස්සනා භාවනා ක්‍රමය ඊට යොදාගන්නා ආකාරය යි. දරු දෙදෙනකුගේ ආදරණීය මවක වන වෛද්‍ය තයන් තයන් දැනට කැලිෆෝනියාවේ ජීවත් වන්නී ය. බෞද්ධාගම, ළමා අධ්‍යාපනය, සෞඛ්‍යය ආදි විෂය ක්ෂේත්‍ර අලළා පොත් රැසක් රචනා කර ඇති ඕ දහම් ගුරුවරියක ලෙස ද කටයුතු කරයි. ඉකුත් කලබින් ඇරැඹි මේ ලිප පෙළ ප්‍රශ්නෝත්තර ක්‍රමයට සකස් කරන ලද ‘Living Meditation, Living Insight’ කෘතිය ඇසුරෙන් සිංහලයට නැඟුණකි.


.

එදිනෙදා ජීවිතයට භාවනාව හුරු කරගැනීමට, ඒ කියන්නේ සෑම කටයුත්තක් ම සිහියෙන් යුතු ව සිදු කිරීමට මම උත්සාහ ගන්නවා. එහෙත් ඇත්තෙන් ම එය ඉතා අසීරු වැඩක්. මගේ සිත හරිම වික්ෂිප්තයි.

එය අස්වාභාවික තත්ත්වයක් නොවෙයි. එදිනෙදා ජීවිතයේදී ඔබේ සිතේ ක්‍රියාකාරිත්වය හඳුනාගැනීමට ඒ දෙස අවධානයෙන් බලා සිටිය යුතුයි. සිතේ අභ්‍යන්තර ස්වභාවය එවිට හොඳින් පෙනෙන්න ගන්නවා. මේ කාර්යය සඳහා පැහැදිලිවම ශක්තිමත් මනැසක් අවශ්‍යයි. ඉතින් ඔබේ සිත කෝපයෙන් රත් වී තිබේ නම්, ඒ-මේ අත විසිරගොස් වික්ෂිප්තව තිබේ නම් සිහිකල්පනාව වර්ධනය කරගැනීමේ මේ කටයුත්ත සිදු කිරීම දුෂ්කර වීම ස්වාභාවිකයි.

එසේ නම් මේ භාවනාව ආරම්භ කරන්නේ කොහොමද?

එදිනෙදා කරන හැම කටයුත්තකටම නිසි අවධානය යොදන්න උත්සාහ ගන්න. ඇවිදීම, හිඳීම, ස්නානය කිරීම, නිවෙස අතුගා පිරිසුදු කිරීම වගේම මලක් දෙස බලා සිටීම වැනි සෑම ක්‍රියාවක්ම සිහිකල්පනාවෙන් සිදු කරන්න. ඔබට මෙය ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී ක්‍රියාවට නැඟිය හැක්කක්. මෙසේ ඔබේ සිතේ අවධානය දියුණු වන විට සිතේ වික්ෂිප්ත ස්වභාවය අඩු වන බව දැනේවි. මේ ආකාරයෙන් සිහිය දියුණු වන විට සිතේ මතු වන සිතුවිලි හා චිත්තාවේග ඒවා මතු වන අවස්ථාවේදීම හැඳිනගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.


>

ඔබ වාහනයක් පදවනවායැයි සිතන්න. එවිට පූර්ණ අවධානය රිය ධාවනය කිරීම වෙතම රඳවා තබාගැනීමට සිදු වනවා නේද? ඔබ කොතරම් සිහිකල්පනාවෙන් සිටිය යුතුද යත්: රථය තිබෙන ස්ථානය, මාර්ගයේ අනෙක් වාහන, පාර මාරු වන පිරිස් ආදි බොහෝ කාරණා ගැන අවධානය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. සිත බොහෝ සිතුවිලිවලින් විසිර ගොස් වික්ෂිප්තව තිබීම මෙවැනි මොහොතක කොහෙත්ම සිදු නොවිය යුත්තක්. එයත් හරියටම රිය පැදවීමේ කටයුත්ත තුළ භාවනාවක යෙදී සිටිනවා වගෙයි. එහෙත් සාමාන්‍යයෙන් අපි මේ බඳු අවධානයක් එදිනෙදා සිදු කරන අනෙක් කටයුතුවලදී යොදවන්නේ නැහැ.

ඒ ඇයි?

පැහැදිලිවම ඒ බොහෝ කටයුතු, රිය ධාවනය කිරීමට වඩා අනතුරුකාරි බවෙන් අඩු නිසයි. එහෙත් අප උත්සාහ කළ යුත්තේ රිය පැදවීමේදී යොදනවා මෙන් අවධානයක් අනෙක් කටයුතුවලදිත් යෙදවීමටයි. ඔබ කෑම කමින් සිටිනවායැයි සිතන්න. ඔබේ සිත වික්ෂිප්ත නම් කෑමවල රසයවත් තේරෙනවාද? සැබෑවටම ආහාර ගැනීම කෙරෙහි සිහිය පිහිටුවාගත හොත් කෑම ගැනීම රසවත් අත්දැකීමක් කරගැනීමට පුළුවන්.

දැන් සිතන්න ඔබ බස් රථයක වාඩි වී සිටිනවා කියා. එතැනදි උත්සාහ කළ යුත්තේ තමා සිටින තැන සිටීම විනා, වෙනත් තැන්වලට සිත ඔහේ වල්මත් වී විසිරී යෑමට ඉඩ දීම නොවේ. ඔබේ වටපිටාව ගැන අවධානය යොදන්න. බස් රථයේ සිටින මඟීන්, බසයේ වේගය, බසයේ ගමන් ගන්නා ස්ථානය ආදිය පිළිබඳ අවධානයෙන් සිටින්න. මෙය භාවනාව ආරම්භ කිරීම සඳහා කදිම ක්‍රමයක්. ඔබ කළ යුත්තේ ඔබ දැන් සිටින තැනම සිටීම විනා වෙනත් තැන්වලට වල්මත් වෙමින් සිතට නිදැල්ලේ යෑමට ඉඩහැරීම නොවේ.

මම හැමවිටම සිහියෙන් සිටීමට උත්සාහ ගන්නවා. ඒත් මට එය වෙහෙසකර අභ්‍යාසයක්. ඔක්කොම සිතුවිලි එකට පටලැවී අවුල් වූ ගතියක් දැනෙනවා.

මේ අභ්‍යාසය, පුහුණුව කවුරුන් හෝ ඔබට පැනවූ නියමයක් නොවේ. මෙය මෙසේ, මේ ආකාරයටම, හැම මොහොතකම කළ යුතුයැයි කවුරුන් හෝ ඔබට අණක් ලබා දී නැහැ. එය ඔබ මේ කටයුත්තේ ආරම්භයේදීම වටහාගෙන තිබිය යුතුයි. එසේ නොවුව හොත් ගත වන සෑම තත්පරයකම ඔබ මහත් අපහසුවට පත් වේවි. ඔබ හැම තත්ත්පරයකම අනවශ්‍ය පරිදි දැඩිව අල්වාගෙන, තදින් සිතට ගෙන සිත සිහියෙහි පිහිටුවන්නට උත්සාහ ගත හොත් ජීවිතය ගලා යන රිද්මය ඔබෙන් ගිලිහී යාවි.

“මේ මොහොතේ ජීවත් වීම” යනු සිත ඇබ්බැහි වී තිබෙන පරණ පුරුදුවලින් මිදීමයි. සාමාන්‍යයෙන් සිතේ ස්වභාවය වන්නේ අතීත, වර්තමාන, අනාගත සිතුවිලි අතර දෝලනය වීමයි. සිත මෙසේ තැන තැන විසිර යෑම නවතාදැමීම “මේ මොහොතේ ජීවත් වීම” මඟින් ලැබෙන ප්‍රතිඵලයයි.

ගෙවෙන සෑම තත්පරයක්ම අතනෑර සිහිකල්පනාව වර්ධනය කරන්නට යෑම නොවෙයි මෙයින් අදහස් වන්නේ. සිදු විය යුත්තේ සිත හැම විටම හික්මීමකින් තොරව තැන තැන සැරිසැරීම නවතා, තමන් කරන කටයුත්ත කෙරෙහි මනාව අවධානය පිහිටුවීමයි. සිතෙහි විසිර යෑම පහ වූ මොහොතේම ඔබට දැනෙනු ඇත්තේ කුමක්ද? තමන් කරන කටයුත්ත තුළ, වර්තමාන මොහොත තුළ ඔබ හොඳින් අවධානයෙන් සිටින බවයි.

එයින් අපට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?

ඔබ ඇසුවේ වැදගත් ප්‍රශ්නයක්. ඔබටත් නොදැනීම ඔබේ සිහිකල්පනාව දියුණු වී තිබේවි. ඔබට ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ භාවනා කිරීමේ ක්‍රමවේදය ගැන අධ්‍යයනය කිරීමෙන්ද තොරවයි. ගොල්ෆ්, චෙස් වැනි කී‍්‍රඩාවලදීත්, කියවීමේදීත් මෙසේ නිරායාසයෙන්ම සිහිකල්පනාව දියුණු වන බව මෙහිදී සිහිපත් කළ හැකියි.

මෙවැනි අවධානයෙන් යුතුව සිදු කරන ක්‍රියා සහ මේ මොහොත ගැන සිහියෙන් සිටීමේ භාවනාව අතර තිබෙන වෙනස කුමක්ද?

මෙවැනි අවධානය යොදා සිදු කරන ක්‍රියාවක යෙදෙන අතරතුර සිතේ ස්වභාවය වන්නේ දිනීමේ වුවමනාව ආදි සිතුවිලි ජනිත වීමයි. ආශාව හා කැමැත්ත ආදි හැඟීම්වලින් මෙහෙයවනු ලබනවා. එසේම එම ක්‍රියාවටද අවසානයක් තිබෙන අතර අවධානයද එතැනින්ම නිමා වනවා.

භාවනාවේදීත් අවධානය ඉතා වැදගත් වනවා. එහෙත් එය එහි පවතින එකම දෙය නොවෙයි. අප හුදෙක් අවධානයෙන් හිඳීම පමණකින් සරලව සෑහීමට පත් වේ නම් භාවනාවෙන් වැඩිදුරටත් ලබාගත හැකි ප්‍රතිලාභ ලබාගන්නට නොහැකි වේවි.

භාවනා කිරීමේදී තීරණාත්මක කරුණක් වන්නේ සිතේ ඇති වන ඇලීම්, ගැටීම් ස්වභාව නොමැතිව සිහිකල්පනාවේ පිහිටීමයි.

නොයෙක් ආකාරයේ පූර්ව නිගමන, ඇලීම් හා ගැටීම් ආදිය විරහිතව සිහිකල්පනාවෙන් සිටීමට ඔබට හැකි නම් ඔබ අභ්‍යන්තර නිසලතාව හා ශාන්ත බව අත්විඳිනු ඇත. උපේක්ෂාව නම් එයයි. මේ ආකාරයෙන් සිතේ ඇති වන ශාන්ත බව එක් තැනක වාඩි වී නිසලව හිඳගෙන සිදු කරන භාවනා ක්‍රමය තුළ මෙන්ම අප දැන් සාකච්ඡා කරමින් සිටින එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් සමඟ ගළපාගන්නා භාවනාවටත් පොදු යි. අප සාකච්ඡා කරන භාවනාව සම්බන්ධ කරුණු දෙකක් මෙහිදී මතු කර දැක්විය හැකියි. එයින් පළමුවැන්න නම් මේ මොහොතේ ජීවත් වීමයි. දෙවැන්න ඇලීම්-ගැටීම්වලින් තොරව සියල්ල දෙස බලා සිටීමයි.

එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවෙයි. අපේ වටපිටාව ගැන අවධානයෙන් සිටීමට වඩා වැඩි යමක් එහිදී සිදු කරන්නට තිබෙනවා?

එය ලෙහෙසි නොවන බව සැබෑවක්. එනිසා තමයි සරලව, හිතට බරක් නොකරගෙන ආරම්භ කිරීම වැදගත් වන්නේ. ඔබ මේ භාවනාවේ සාර්ථකත්වය එක් මොහොතකින් ලබාගැනීමට මහන්සි වන්න එපා. එත් මේ මොහොත ගැන අවධානයෙන් සිටීමේ භාවනාව ක්‍රමයෙන් පුහුණු වන විට සිත ඇතුළත නිසලතාව වැඩෙනු ඔබට අත්දැකිය හැකියි. සිහිකල්පනාව වඩාත් දියුණු වන විට බාහිර කරුණු ගැන විසිර යන චිත්ත ස්වභාවය ක්‍රමයෙන් අඩු වනු ඇති.

එපමණක් නොවෙයි, තමා අවට සිදු වන දේ ගැන වඩා හොඳ දැනීමක් හා අවබෝධයක්ද ඔබට මෙමඟින් ලැබෙනවා. ඔබේ සිහිකල්පනාව තවදුරටත් වර්ධනය වීමේදී ඔබේ අවධානය කෙළින්ම ඔබේ සිත වෙත, එහි මතු වන හැඟීම් හා විවිධාකාර සිතුවිලි වෙත යොදවන්නත් ඔබට හැකියාව ලැබෙනවා.

එහෙම නම් හුදෙක් සිහිකල්පනාවෙන් සිටීම පමණක් මෙහිදී ප්‍රමාණවත් වන්නේ නැහැ නේද?

ඔබ හරි. සිහිකල්පනාවෙන් සිටීම පමණක් මේ භාවනාවේදී ප්‍රමාණවත් වන්නේ නැහැ. එය එහි විධික්‍රමය පමණයි. වඩාත් වැදගත් හා තීරණාත්මක වෙන්නේ උපේක්ෂාව හෙවත් ශාන්ත බව ඔබේ සිහිකල්පනාව තුළට අන්තර්ගත කරගැනීමයි.

සිතේ අභ්‍යන්තර නිසලතාව සඳහා උපේක්ෂාව අවශ්‍ය වනවාද?

සිත නිශ්චලතාව සඳහා මෙහෙයවන එකම මාර්ගය උපේක්ෂාවයි. එය භාවනාවේ නිෂ්පාදිතයක් පමණක්ම නොවේ; භාවනාව සඳහා උපකාර වන ආධාරකයක්ද වනවා. ඔබ භාවනා පුහුණුවෙන් ඉදිරියට යද්දී උපේක්ෂාව සිත තුළ වර්ධනය වීමත් සමඟ එය ජීවිතයේ කුදු මහත් සෑම කටයුත්තක් කෙරෙහිම පැතිරී බලපවත්වන්න පටන්ගන්නවා. යමකට සවන් දීමේදී, බැලීමේදී, යමක් දැනගැනීමේදී ආදි සෑම දෙයකදීම උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීමට නිරායාසයෙන්ම ඔබ පෙලඹෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *