දස පෙරුම් දම්

දස පෙරුම් දම්

ගෞරවාර්හ පූජ්‍ය නාරද හිමිපාණන් දස පාරමිතා පිළිබඳ ව ලියූ ලිපි පෙළක දෙවැන්න යි මේ. පාරමී ධර්මයන්ට උදව් වන දේ, විරුද්ධ වන දේ, පාරමී බෙදෙන හැටි, පාරමී සම්පාදන ක්‍රම, පාරමී අනුව බෝසතුන් බෙදෙන හැටි සහ පාරමී අනුසස් මේ ලිපියෙන් අප හිමිපාණෝ දක්වති.

පාරමී ධර්මයන්ට ප්‍රත්‍යය හෙවත් උපකාර වන්නේ කුමක් දැ යි අපි සොයමු. “මනුස්සත්තං ලිංග සම්පත්ති” යන ආදීන් වදාළ 1. මිනිසත් බව ය, 2. පිරිමි බව ය, 3. උපනිශ්ශ්‍රය සමපත්තිය හෙවත් එම අත්බව්හි ම රහත් බව් ලැබීමට වුවත් හේතු සම්පත් ඇති බව ය. 4. බුදු කෙනෙකුන් දැකීම ය, 5. පැවිදි වීම ය, 6. අෂ්ට සමාපත්ති හා පඤ්චාභිඤ්ඤා ගුණ සම්පත්ති ය, 7. අධිකාරය හෙවත් බුදුකෙනකුන් හට දිවි පිදීම තරම් මහත් කුශලයක් කිරීම ය, 8. බුදුකුරු දහම් ලැබීම පිණිස පවත්නා මහත් ඡන්දය හෙවත් ඕනෑකම ය යන මේ අෂ්ට ධර්ම සමවධානයෙන් (අට කරුණු එක් තැන් කිරීමෙන්) සැපයිය යුතු අභිනීහාරය හෙවත් මුල් පැතීම පාරමී ධර්මයන්ට ප්‍රත්‍යය වෙයි. එනම් බුදුකෙනකුන් හමුවෙහි ප්‍රථම නියත විවරණය ලබන අවස්ථාවෙහි මම ද බුදු වී පර හට ද චතුස්සත්‍යාවබෝධ කරවන්නෙමැයි යන ආදීන් කරන මුල් ප්‍රාර්ථනාව යි.

මෙසේ සියලු පාරමී ධර්මයන්ට මහාභිනීහාරය ප්‍රත්‍යය හෙවත් උපකාර වන්නේ ය.

එහෙයින් බුදුහු කීහ:

“බුද්ධෝ හං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයේ පරේ
තිණ්ණෝ හං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්භයා”

පිළිවිදැ මම් පළමු — සෙස්සනුදු පිළිවිදුවම්

මිදුණෙම්, මුදම් අනුනුදු — දැඩිතර සසර බැඳුමෙන්
තැරැ ගොරතර සසර — මහ වතුර මම් පළමු වැ,
පැසුළු අනුනුදු තරවම් — එබිහිසුණු මහ වතුරින්”

මම පළමු ව සිව්සස් අවබෝධ කොට, පසු ව අනුන් අවබෝධ කරවන්නෙමි. මම පළමු ව මිදුණෙම්, පසු ව අනුන් මුදන්නෙමි. මම පළමු මහ බියැති සසර වතුරෙන් එතෙර වූයෙමි, පසු ව අනුන් එතෙර කරන්නෙමි.

දැන් පැරුම් දම් කෙලෙසෙන්නේ කෙසේ දැ යි බලමු. සාමාන්‍යයෙන් කියත හොත් තෘෂ්ණාමාන දෘෂ්ටීන් විසින් කෙලෙසුණු බව පාරමීන්ගේ කිලිටි වේ. විශේෂයෙන් කියත හොත් දෙන වස්තූන් පිළිබඳ ව ද දන් ලබන්නවුන් පිළිබඳ ව ද පවත්නා විකල්පයෝ හෙවත් මම සතුන් නොමරමි, මෙතෙක් කල් සිල් රකිමි යන ආදි වශයෙන් පවත්නා සත්ත්ව කාල පිළිබඳ විකල්පයෝ ශීල පාරමියට කිලිට වෙත්.


.

කාම භවයෙන් ඇලීම කාමව්‍යුපශමයෙහි නො ඇල්ම යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ නෛෂ්ක්‍රම්‍ය පාරමියට කිලිට වෙත්.

මම ය මාගේ ය යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ ප්‍රඥා පාරමියට කිලිට වෙත්. ලීනුද්ධච්ච හෙවත් කුසීත බව හා නොසන්සුන් බව යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ වීර්ය පාරමියට කිලිට වෙත්. තෙමේ ය මෙරමා ය යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ ක්ෂාන්ති පාරමියට කිලිට වෙත්. අදෘෂ්ට අශ්‍රැත (නුදුටු නොඇසූ) ආදි විෂයයෙහි දෘෂ්ට ශ්‍රැත ආදි වසයෙන් පවත්නා විකල්පයෝ සත්‍ය පාරමියට කිලිට වෙත්. බුදුකුරු දහම් පිළිබඳ දොස් හා ඊට විපක්ෂ ධර්මයන් පිළිබඳ ගුණ යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ අධිෂ්ඨාන පාරමියට කිලිට වෙත්.

මොවුහු හිත ය හ, මොවුහු අහිත ය හ යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ මෛත්‍රී පාරමියට කිලිට වෙත්. මේ ආලම්බනයෝ ඉෂ්ට ය හ. මේ ආලම්බනයෝ අනිෂ්ට ය හ යන ආදි වශයෙන් පවත්නා විකල්පයෝ උපේක්ෂා පාරමියට කිලිට වෙත්. තෘෂ්ණාදීන් විසින් නොකෙලසුණ බව හා ඒ ඒ විකල්පයන් නැති බව ම පාරමී ධර්මයන්ගේ පිරිසිදු බව නම් වේ.

සාමාන්‍යයෙන් සියලු සංක්ලේශ ධර්මයෝත් අකුශලයෝත් විරුද්ධ නම් වෙත්. විශේෂයෙන් ලෝභ, දෝෂ, මෝහාදීනුත් ඒ ඒ පාරමීනට ඍජු ව ම විරුද්ධ ධර්මයෝත් ප්‍රතිපක්ෂ නම් වෙත්.

දශ පාරමී ය, දශ උපපාරමී ය,දශ පරමාර්ථ පාරමී ය යි පාරමීහු තිස් වැදෑරුම් වෙත්.

පාරමී, උපපාරමී, පරමාර්ථ පාරමී වශයෙන් තෙවැදෑරුම් වූ මේ පාරමීන් පිළිබඳ මත කීපයක් චරියාපිටකට්ඨකථායෙහි දක්වා තිබේ. එයින් ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ.

1. i. අභිනීහාරයට හෙවත් මුල් ප්‍රාර්ථනාවට පෙර ඉතා මුල්කල්හි පුරනු ලබන දානාදි ධර්මයෝ පාරමීහු නම් වෙති. ii. අභිනීහාරයට පසු බෝධිසත්ත්ව භූමියෙහි පුරන ලද දානාදිධර්මයෝ උපපාරමී නම් වෙති. iii. බුද්ධ භූමියෙහි සිට පිරූ දානාදි ධර්මයෝ පරමාර්ථ පාරමීහු නම් වෙති. නොහොත්:

2. i. බෝසත් බිම්හි පැවති දානාදීහු පරවැඩ සලසන හෙයින් පාරමීහු ය. ii. අත්වැඩ සලසන හෙයින් උපපාරමීහු ය. iii. බුද්ධ භූමියෙහි අත්වැඩ පරවැඩ දෙක ම සලසන මෙයින් පරමාර්ථ පාරමීහු ය.

3. i. ශ්‍රාවකයන්ගේ පැරුම් පාරමීහු ය. ii. පසේ බුදුවරයන්ගේ පැරුම් උපපාරමීහු ය. iii. සම්මා සම්බුදුවරයන්ගේ පැරුම් පරමාර්ථ පාරමීහු ය.

4. i. මනඞ ප්‍රණීධියෙහි පටන් වාක්ප්‍රණීධිය දක්වා පැවැති දානාදීහු පාරමීහු ය, ii. වාක්ප්‍රණීධියෙහි පටන් කායප්‍රණිධිය දක්වා පැවැති දානාදීහු උපපාරමීහු ය. iii. තමන් විසින් ම කිරීම් වශයෙන් පැවැත්තාහු පරමාර්ථ පාරමීහු ය.

5. i. අනුන් කළ දානාදි පින් අනුමෝදන් වීම් වශයෙන් පැවැත්තාහු පාරමීහු ය. ii. අනුන් ලවා කැරැවීම වශයෙන් පැවැත්තාහු උපපාරමීහු ය. iii. තමන් විසින් ම කිරීම් වශයෙන් පැවැත්තාහු පරමාර්ථ පාරමීහු ය.

6. i. සසර සුව එළවන්නා වූ පුණ්‍යයෝ පාරමීහු ය. ii. නිවන් සුව එළවන්නා වූ පුණ්‍යයෝ උපපාරමීහු ය. iii. අන් හට සසර සුව හා නිවන් සුව සලසන්නා වූ පුණ්‍යයෝ පරමාර්ථ පාරමීහු ය.

මේ පාරමී ධර්මයන්ගේ සංග්‍රහය හෙවත් පිඬු කොට හකුළුවාගන්නා හැටි කෙසේ ද යත්: යට කී පරිදි මේ පැරුම් තිස්වැදෑරුම් වුවත් දානාදි වශයෙන් දසවැදෑරුම් වන්නා සේ 1. දාන, 2. ශීල, 3. ක්ෂාන්ති, 4. වීර්ය, 5. ධ්‍යාන, 6. ප්‍රඥා වශයෙන් මොවුහු සවැදෑරුම් වෙති. නෛෂ්ක්‍රම්‍ය පාරමිතා තොමෝ පැවිද්ද වශයෙන් ලැබෙන තැන්හි ශීල පාරමියෙන් ද, නීවරණයන්ගෙන් වෙන් වීම වශයෙන් ලැබෙන තැන්හි ධ්‍යාන පාරමියෙන් ද, අකුශලයන්ගෙන් නික්මෙන කුශල වශයෙන් ලැබෙන කල්හි මේ දානාදි සයෙන් ම ද සංගෘහීත වේ. සත්‍ය පාරමිතා තොමෝ වාග්විරති සත්‍යය ලැබෙන තන්හි ශීල පාරමියගේ ඒක දේශයක් වේ. ඥාන සත්‍යය ලැබෙන තැන්හි ප්‍රඥා පාරමියෙන් සංගෘහීත වේ. අධිෂ්ඨාන පාරමිතා තොමෝ මේ සයින් ම සංගෘහිත වේ. සැකෙවින් කියත හොත් සියලු පාරමීහු කරුණා — ප්‍රඥා දෙකින් සංගෘහීත වෙති.

පාරමී ධර්මයන් සම්පාදනය කිරීමෙහි උපාය මෙසේ ය:

i. නවසේස සම්හරණය හෙවත් ඒ දානාදි සියලු ධර්මයන් එකක් වත් නොහැර ඉතිරි නොකොට සම්පාදනය කිරීම ය. ii. සක්කචචකාරිතාය හෙවත් දානාදි ධර්මයන් අදර බුහුමන් ඇති ව සකසා ම සම්පාදනය කිරීම ය. iii සාතච්ච කාරිතාය හෙවත් නොකඩවා නිරතුරු ව ම පුහුණු කිරීම් වශයෙන් සම්පාදනය කිරීම ය. iv චිරකාලාභියෝගය හෙවත් අතරක දී නොසිට බොහෝ කාලයක් පුරුදු කිරීම් වශයෙන් සම්පාදනය කිරීම ය යන සිව් වැදෑරුම් අංගයෙන් යුක්ත වීම සම්පාදනෝපාය වේ.

යටත් පිරිසෙයින් චතුරසංඛ්‍යක් හා මහා කල්ප ලක්ෂයෙකින් ද, මැදිම් පිරිසෙයින් අෂ්ටාසංඛ්‍යයක් හා මහා කල්ප ලක්ෂයෙකින් ද, උඩත් පිරිසෙයින් ෂෝඩශාසංඛ්‍යක් හා මහා කල්ප ලක්ෂයකින් ද, බුද්ධ බෝධිසත්ත්වයන්ගේ පාරමී සම්පාදනය සම්පූර්ණ වන්නේ ය. මෙපරිද්දෙන් කාලය පිරිසිඳින ලද්දේ (1) ප්‍රඥාධික, (2) ශ්‍රද්ධාධික, (3) වීර්යාධික බෝධිසත්ත්වයන්ගේ ප්‍රභේද වශයෙනි.

බෝධිසත්ත යනු බුදු බව්හි ඇලුණු තැනැත්තා යන තේරුම යි. පාලිභාෂානුකූල ව “බෝධිසත්ත” යි කිය යුතු නමුත් සකු බසින් “බෝධිසත්ත්ව” යි ව්‍යවහාර කරනු ලැබේ.

නියම වශයෙන් බෝධිසත්ත්ව යන ගරු නමට යමකු හිමි වන්නේ ප්‍රථම නියත විවරණයෙන් පසු ව ය.

හැම දෙන හට ම බුදු වන්නට බුද්ධාගමයෙහි ඉඩ තිබේ. බුදුවරු පිපුණු මල් වැනියහ. බුදු වනු කැමැත්තෝ මල් කැකුළු වැනියහ. බුදු වීමේ ශක්තිය හැම දෙනා තුළ ම අන්තර්ලීන ව පවතී. බුදුකුරු දම් පුරුදු කළ හොත් කා හටත් බුදු විය හැකි ය. ස්ත්‍රියක නම් ප්‍රථම කොට පිරිමි බව ලබාගත යුතු ය.

සමහර බෝධිසත්ත්වයන් හට නුවණ වැඩි ය. ඔවුහු “ප්‍රඥාධික” නම් වෙති. සමහරුනට ශ්‍රද්ධාව වැඩි ය. ඔවුහු “ශ්‍රද්ධාධික” නම් වෙත්. සමහරුනට වීර්යය වැඩිය. ඔවුහු “වීර්යාධික” නම් වෙත්.

ප්‍රඥාධික බෝධිසත්ත්වයන්ගේ ශ්‍රද්ධාව මඳ ය; වීර්යය මැදුම් පමණ ය. උන් වහන්සේගේ පාරමී සම්පාදනය චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකින් සම්පූර්ණ වන්නේ ය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයන්ගේ වීර්යය මඳ ය; ප්‍රඥාව මැදුම් පමණ ය. උන් වහන්සේගේ පාරමී සම්පාදනය අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂයෙකින් සම්පූර්ණ වන්නේ ය. වීර්යාධික බෝධිසත්ත්වයන්ගේ ප්‍රඥාව මඳ ය; ශ්‍රද්ධාව මැදුම් පමණ ය. උන් වහන්සේගේ පාරමී සම්පාදනය ශෝඩෂාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් සම්පූර්ණ වන්නේ ය. ප්‍රඥාදි ගුණ ධර්මයන්ගෙන් කොපමණ දියුණු භාවයකට හෝ හීන භාවයකට පැමිණියත් යට පිරිසිඳින ලද කාලයට පෙරැ හෝ ඔබ්බෙහි ලොවුතුරා බුදු වීමක් නොවන්නේ ය.

මේ පාරමී ධර්මයන්ගේ අනුසස් රැසකි. නියත විවරණ ලත් බෝසත්හු සසර සැරි සරනා තාක් කල් මුළුල්ලෙහි “අවීචිම්හි නූපජ්ජන්ති” යන ආදීන් වදාළ පරිදි අවීචියෙහි නූපදිත් ම ය; ලෝකාන්තරික නරකයන්හි නූපදිත් ය; නිජ්ඣාමතණහාදි ප්‍රේතයෝනීන්හි නූපදිත් ම ය, තිරිසන් දුගතියෙහි උපදනා කල වටුවකුට වඩා කුඩාව හෝ ඇතකුට වඩා මහත් ව නූපදිත් ම ය. මනුෂ්‍යයන් අතරැ උත්පත්තියෙන් ම අඳ ගොලු බිහිරි ව නූපදිත් ම ය; උභතෝඛ්‍යඤ්ජන, පණ්ඩකාදීන් මෙන් නූපදිත් ම ය, ආනන්තර්ය පාපකර්මයන් නොකරනසුලු බව ය, නියත මිථ්‍යාදෘෂ්ටිය නොගන්නා බව ය, සුගතීන්හි උපදනා කල අසඤ්ඤ තලයෙහි හා ශුද්ධාවාසයන්හි නූපදනා බව ය, තුසී පුරයෙන් ච්‍යුත ව බුදු වන අත්බව්හි සිහිනුවණින් යෙදී මව් කුස පිළිසිඳ ගැනීම් ආදි සොළොස් ආශ්චර්ය අද්භූත ධර්මයන් සිදු වීම ය, මවු කුසින් බිහි වන කෙණෙහි දෙතිස් පෙරනිමිති පහළ වීම ය, බෝසතුන්ගේ අදහස් සිතු සිතු පරිදි සිදු වීම ය, හැම සත්නට වැඩ පසස්නා බැවින් හැම දෙන හට පියකු හා සම වන බව ය, දක්ෂිණාර්හ වන බැවින් ගරු බුහුමන් කට යුතු වන බව ය,

නොයෙක් ගුණ ධර්මයන් හේතු කොටගෙන උතුම් පින් කෙතක් වන බව ය, බොහෝ සෙයින් මනුෂ්‍යයන් හට හා අමනුෂ්‍යයන් හට ප්‍රිය වන බව ය, දෙවියන් විසින් රක්නා ලබන බව ය, නිරතුරු ව මෛත්‍රී කරුණා සහගත සිත් සතන් ඇති බැවින් කොටි වලස් ආදි චණ්ඩ මෘගයන්ගෙන් අනතුරු නොවන බව ය, යම් යම් ජාතීන්හි උපදනා කල ඒ ඒ ජාතීන්හි රූප ශෝභාවෙන් ද, යසසින් ද, සැපතින් ද, බලයෙන් ද, ආධිපත්‍යයෙන් ද සෙසු හැම සත්ත්වයන් මැඬ පවත්වන බව ය, ලෙඩ අඩු බව ය, පිරිසිදු වූ ශ්‍රද්ධා වීර්ය ස්මෘති සමාධි ප්‍රඥා ඇති බව ය, කෙලෙස් අඩු බව ය, කීකරු වන බව ය, අවවාදානුශාසනයන් ගෞරවයෙන් පිළිගන්නා බව ය,

ඉවසනසුලු බව ය, සුරතභාවය ය, ප්‍රිය මෘදු වචන ඇති බව ය, පිළිසඳර කථා පැවැත්වීමෙහි දක්ෂභාවය ය, ක්‍රෝධ නොකරන බව ය, බඳනා ලද වෛර නැති බව ය, ගුණමකු නොවන බව ය, තම හට උසස් අය හා සමයෙමැයි සිතා යුගග්‍රාහ නොකරනසුලු බව ය, ඊර්ෂ්‍යා නැති බව ය, මසුරු නැති බව ය, ශඨකපට නොවන බව ය, මායා නැති බව ය, අවවාදයෙහි නොනැමෙන දැඩිකම් නැති බව ය, උඩඟු නැති බව ය, පළි ගැනීම් වශයෙන් එකට එක නොකරනසුලු බව ය, යම් ගමක හෝ රටක වෙසෙතොත් එහි වැසියනට නූපන් භයාදි උවදුරු බොහෝ සෙයින් නූපදිනා බව ය, උපන් උවදුරු සංසිඳෙන බව ය, යම් හෙයෙකින් උත්සදනිරයක උපනත් සෙසු සත්ත්වයන් මෙන් දැඩි දුකින් තරයේ නොපෙළෙන බව ය, බොහෝ සෙයින් සංවේගයට පැමිණෙනසුලු බව ය, ආයු සම්පත්, රූප සම්පත්, කුල සම්පත්, ඓශ්වර්ය සම්පත් ලබන බව ය, ආදර ගෞරවයෙන් පිළිගත යුතු වචන ඇති බව ය, මහ අනුසස් ඇති බව ය යන ආදීහු පාරමීන්ගේ අනුසස් වෙති.

සැකෙවින් කියතොත් සම්මා සම්බුදු බව මේ පාරමීන්ගේ ඵලය වේ. විස්තර වශයෙන් වනාහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුව්‍යඤ්ජන, ව්‍යාමප්‍රභාදි අනේක ගුණ සමූහයෙන් බබළන්නා වූ මේ රූප කාය සම්පත්තිය ආධාර කොට පවත්නා වූ දශ බල, චතුර්වෛශාරද්‍ය, ෂඩ් අසාධාරණ ඥාන, අෂ්ටාදශ ආවේණික බුද්ධධර්ම යන මොවුන් ආදි කොට ඇති අනන්තාපරිමාණ ගුණ සමූහයෙන් හොබනා යම් ධර්ම කාය සම්පත්තියක් ඇද්ද, බුදුකෙනකුන් වහන්සේ විසිනිදු කපක් මුළුල්ලෙහි වදාළත් නොගෙවෙන තරම් බුදුගුණයෝ වෙත් ද මේ හැම පාරමීන්ගේ ඵල නම් වේ.

(ලබන කලාපයේ දාන පාරමිතාව)

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *