දස පෙරුම් දම්

දස පෙරුම් දම්

ගෞරවාර්හ පූජ්‍ය නාරද හිමිපාණන් දස පාරමිතා පිළිබඳ ව ලියූ ලිපි පෙළක ආරම්භය යි මේ. පාරමිතා පිළිබඳ කෙටි හැඳින්වීමක් මුලින් ම දැක්වේ.

පාරමීහු වනාහි සියලු බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් පුරුදු කට යුතු වූ ගුණධර්මයෝ වෙති.

ලොවුතුරා බුදු වීම, රහත් වීම යන බෝධිත්‍රයෙන් තම හට අභිමත බෝධියකට පැමිණීමට ද පාරමීහු බොහෝ කාලයක් සකසා පුරුදු කට යුත්තාහ. රහත් බව පතා පුරන කල්හි “සාවක පාරමී” ය යි ද, පසේ බුදු බව පතා පුරන කල්හි “පච්චේක බෝධි පාරමී” ය යි ද, ලොවුතුරා බුදු බව පතා පුරන කල්හි “සම්මා සම්බෝධි පාරමී” ය යි ද පාරමීහු වෙන වෙන නම් ලබති.

ත්‍රිවිධ බෝධිය යි කියනු ලබන්නේ මෙකී සාවක බෝධි, පච්චේක බෝධි, සම්මා සම්බෝධි යන තුනට බව සැලකිය යුතු.

බෝධි යනු ඥානයට නමකි. “සාවක”(සංස්කෘත—ශ්‍රාවක, සිංහල–සවු) යනු “අසන්නා” යන අර්ථ යි. කොතරම් සහජ නුවණ ඇතත් යටත් පිරිසෙයින් සෝවාන් වීමට පවා අනුන්ගෙන් බණ ඇසීම නම් වූ “පරතෝඝෝෂ ප්‍රත්‍යය” අවශ්‍ය ය. එසේ අනුන්ගෙන් අසා ම නිවන් අවබෝධ කරගත යුතු බැවින් සෝවාන්, සෙදගැමි, අනැගැමි, රහත් යන ආර්යන් වහන්සේ “ශ්‍රාවක” නම් වෙත්. එබඳු සවුවන්ගේ නුවණ “සාවක බෝධි” නමි.

අනුන්ගෙන් දහම් නාසා යම් කිසි කරුණක් නිමිති කොටගෙන පටිච්ච සමුප්පාදය මෙනෙහි කොට තනියම නිවන් අවබෝධ කරන උතුමෝ “පච්චේක බුද්ධ” නම් වෙත්. එබඳු පසේ බුදුවරයන්ගේ නුවණ “පච්චේක බෝධි” නමි. අනුන්ගෙන් දහම් අසා නිවන් අවබෝධ කරගත් ශ්‍රාවකයනට නම් පර හට දහම් දෙසා නිවන් අවබෝධ කැරැවිය හැකි ය. පසේ බුදුවරයනට එසේ කළ නො හේ. සාමාන්‍ය ධර්මාවවාදයක් දිය හැකි නමුත් පර හට නිවන් අවබෝධ කරැවීමට උන් වහන්සේ සමත් නො වෙති. ශ්‍රාවකයන් පහළ වන්නේ බුද්ධෝත්පාද කාලයෙක්හි ම ය. පසේ බුදුවරයන් පහළ වන්නේ අබුද්ධෝත්පාද කාලයන්හි ය.

ස්වයම්භූඥානයෙන් නිවන් අවබෝධ කොට, පර හට නිවන් අවබෝධ කැරැවීමට සමත් උතුමෝ “සම්මා සම්බුද්ධ” නම් වෙති. උන් වහන්සේගේ නුවණ “සම්මා සම්බෝධි” නමි. සම්මා යනු මනා කොට, “සං” යනු තමන් වහන්සේගේ යන අර්ථයි. සම්මා යි වෙසෙසන ලද්දේ පර හට ද නිවන් අවබෝධ කැරැවිය හැකි බැවිනි. එක වරකට එක් ලොවුතුරා බුදුවරයෙක් පමණක් පහළ වෙති. දෙනමක් පහළ නො වෙති. එහෙත් පසේ බුදුවරයන්ගේ ගණනෙහි සීමාවක් නැත.

පාරමී ප්‍රකීර්ණක කථා වර්ණනා කරන චර්යාපිටකාර්ථකථාචාර්යයෝ ප්‍රශ්න සොළොසක් උපදවති. හේ මෙසේ යි:

1. පාරමීහු කවරහු ද?

2. කවර අර්ථයකින් පාරමී නම් වේ ද?

3. පාරමීහු කී වැදෑරුම් වෙත් ද?

4. පාරමී ධර්මයන්ගේ ක්‍රමය කවරේ ද?

5. පාරමී ධර්මයන්ගේ ලක්ෂණාදීහු කවරහු ද?

6. පාරමී ධර්මයනට ප්‍රත්‍යය වන්නේ කුමක් ද?

7. පාරමී ධර්මයනට කිලුට නම් කවරේ ද?

8. පාරමී ධර්මයන්ගේ පිරිසිදු බව කුමක් ද?

9. පාරමී ධර්මයනට විරුද්ධ පක්ෂය කවරේ ද?

10. පාරමී ධර්මයන්ගේ පිළිවෙත කුමක් ද?

11. පාරමී ධර්මයන්ගේ විභාගය කෙසේ ද?

12. පාරමී ධර්මයන්ගේ සංග්‍රහය කවරේ ද?

13. පාරමී ධර්මයන් සම්පාදනය කිරීමෙහි උපාය කවරේ ද?

14. කොතෙක් කලකින් සම්පාදනය වේ ද?

15. පාරමී ධර්මයන්ගේ අනුසස් කවරහු ද?

16. පාරමී ධර්මයන්ගේ ඵලය කුමක් ද? යනු යි.

මේ හැම මෙහි සැකෙවින් වර්ණනා කරනු ලැබේ.

1. පාරමීහු කවරහු ද?

මෙම ප්‍රශ්නය විසඳන චර්යාපිටකාර්ථකථාචාර්යයෝ “තණ්හාමාන දිට්ඨහි අනුපහතා කරුණුපාය කෝසල්ලේන පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමියෝ” යි කී හු.

“කෘෂණා ය, මාන ය, මිථ්‍යාදෘෂ්ටි ය යන මේ තෙවදෑරුම් කෙලෙසුන් හා නොහැපුණු, කිලිටි නොවූ, කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් (දෙලෝ වැඩ සලසන මඟ සලකාගැනීමෙහි දක්ෂ වූ නුවණින්) මොනවට රැකගත් දානාදි ගුණ ධර්මයෝ පාරමීහු නම් වෙති” යනු එහි භාවය යි. පැරුම් පුරන කල යට කී කෙලෙස් තුනෙන් වෙන් විය යුතු ය. කරුණායෙන් හා නුවණින් ආරක්ෂා විය යුතු ය.

භවභෝග සම්පත් හෝ කීර්ති ප්‍රශංසා ලබන අටියෙන් ගුණ දහම් නොපිරිය යුතු ය. ගුණ දහම් උතුම් කොට සලකා, ක්‍රියාව උසස් කොට තකා පැරුම් පිරිය යුතු ය. උතුම් ක්‍රියාවකින් උතුම් ඵලයක් ලැබේ. එතේ ඵලයට ගිජු නොවිය යුතු ය. කීර්තියට හෝ ප්‍රශංසාවට තමා සුදුසු නම් එය තමා කරා නිතැතින් එළඹේ. රොන් ඇති මල කරා බඹරුන් පැමිණෙන්නාක් මෙනි. පිරිසිදු අදහසින් පර හට වැඩ කරන විට නින්දා පැසසුම් දෙක්හි ම උපේක්ෂක විය යුතු ය. නින්දාවට තමා ලක් වුවත්, අනුන් තම හට අකෘතඥ වුවත් මන්දෝත්හාසී නොවිය යුතු. අධෛර්ය නොවිය යුතු; පසුබට නොවිය යුතු කවර හෙයින් ද යත්: ප්‍රශංසා ලබන අටියෙන් ගුණ දහම් නොපිරූ හෙයිනි.

එසේ ම තමා උසස් කොට තකා අනුන් පහත් කොට සිතා උඩඟු බැවින් හෝ මමත්වයෙන් පැරුම් නොපිරිය යුතු ය. මමායනාපහරණයෙන් ක්‍රියා කිරීම මාහාත්ම්‍යයෙකි. නමට වඩා ක්‍රියාව ම උතුම් කොට සැලැකිය යුතු ය. “මම” යන්න “සමූහයෙහි” බහා ලීම මැනැවි. මානය පහ කොට ගුණ දහම ප්‍රකට කළ යුතු ය.

කම් පල නැත යන මිසදිටු සිතින් ද වෙන් විය යුතු ය. හැම උතුම් ක්‍රියාවට ම අනුසස් ඇත. එය කර්මයේ ඵලයෙකි. යම් හේතුවක් ඇතොත් එහි ඵලයක් ද ඇති විය යුතු.

හැම සතුන් කෙරෙහි පතළා වූ කරුණායෙන් ම පැරුම් පිරිය යුතු ය. කරුණා පෙරදැරි ව පැරුම් දම් පුරන්නේ, ඊර්ෂ්‍යා ක්‍රෝධ පරවශ ව අනුන් කුමක් කීවත්—සිතුවත්, කියන—කරන නිසි දෑ නොනැවතීම කරයි.

කරුණායෙන් ඇතැම් විට මූඪ ක්‍රියා ද කළ හැකි බැවින් නුවණින් ආරක්ෂා විය යුතු ය. නුවණ ඇති විට අන්ධභක්තියෙන් හෝ මෝඩකමින් පැරුම් දම් යි සිතා අනුවණකම් නො ම සිදු වේ.

ප්‍රඥානුකූල වූ කරුණාන්විත ක්‍රියාවෝ සර්වප්‍රකාරයෙන් ම ශ්‍රේෂ්ඨ ය හ යි සිතිය යුතු.

2. කවර අර්ථයකින් පාරමි නම් වේ ද?

පාරමී යනු “පාරං” ශබ්දය උපපද කොට ඇති “ඉ” ධාතුවෙන් සිද්ධ යි. පාරං යනු පරතෙරට හෙවත් තමන් රුස්නා “සම්බෝධි” නම් වූ පරම කෝටියට (ඉහළ ම කොනට) නමකි. “ඉ” නු ගමනාර්ථ වාචී ධාතුවෙකි.

එයින් පර ව යෙදුණු ප්‍රත්‍යය කරණකාරකයෙහි වේ. එහෙයින් පාරමී යන්නෙහි අර්ථය නම් සම්බෝධි සංඛ්‍යාත වූ පරතෙරට යෑමට අතිශයින් උපකාර වන ගුණධර්මයෝ යනු යි.

තව ද සත්ත්වෝත්තම හෙයින් බෝසත්හු “පරම” යි කියනු ලැබෙති. පරම නම් වූ මහබෝසතුන්ගේ ගුණයෝ ය, ක්‍රියාවෝ ය, භාවයෝ ය, යන අර්ථයන්හි ද පාරමී ශබ්දය යෙදේ. එම අරුත්හි ම “තා” ප්‍රත්‍යය වීමෙන් පාරමිතා යි සිද්ධ යි.

3. පාරමිහු කී වැදෑරුම් වෙත් ද?

පාරමිහු දස වැදෑරුම් වෙති.

වදාරන ලද මැ යි:

දානං සීලඤ්ච නෙක්ඛම්මං
පඤ්ඤා වීරියේන පඤ්චමං
ඛන්ති සච්චමධිට්ඨානං
මෙත්තු පෙක්ඛා ති මේ දසං

1. දානය ය, 2. ශීලය ය, 3. නෛෂ්ක්‍රම්‍ය ය (නික්මීම) ය, 4. ප්‍රඥා (නුවණ) ය, 5. වීර්ය ය, 6. ක්ෂාන්තිය (ඉවසීම) ය, 7. සත්‍යය ය, 8. අධිෂ්ඨානය ය, 9. මෛත්‍රිය ය, 10. උපේක්ෂාව (මැදහත් බව) ය යන මේ දශය බුද්ධකාරක ධර්මයෝ හෙවත් පාරමීහු වෙති.

මේ එක එක පාරමිය, පාරමී, උපපාරමී, පරමාර්ථ පාරමී වශයෙන් ගත් කල තිස් වැදෑරුම් වේ.4. පාරමී ධර්මයන්ගේ ක්‍රමය හෙවත් පළමු ව දානය, දෙවනු ව ශීලය යන ආදීන් පැවැති පිළිවෙළ කවරේ ද?


.

සුමේධ තාපස කල දාන, ශීලාදි පිළිවෙළින් සවයම්භූඥානයෙන් තමන් වහන්සේ විසින් ම සොයා දැන, එසේ ම පුරුදු කොට, බුදු වී එපරිද්දෙන් ම වදාළ බව ක්‍රමය නම් වේ.

තව ද දානය සියලු සත්ත්වයන් හට සාධාරණ බැවින් ද පුරුදු කිරීමට පහසු බැවින් ද පළමු ව වදාරන ලදි.

දායක—ප්‍රතිග්‍රාහකයන්ගේ හෙවත් දෙන—ලබන අයගේ පිරිසිදු බව හේතු කොට—ගෙන දානය මහත් ඵලදායී බැවින් ද, දානය භෝග සම්පත්තියට හේතු වන බැවින් ද, ශීලය සුගති ආදි භවසම්පත්තියට හේතු වන බැවින් ද, දානයට අනතුරු කොට දෙවනු ව ශීලය වදාරන ලදි.

නෛෂ්ක්‍රම්‍යයෙන් ශීලය සුරැකි ව පිරිය හැකි හෙයින් ද ශීල සම්පත්තිය සිද්ධ වන හෙයින් ද, ශීලයෙන් කය වචනය දෙක්හි පිරිසිදු බව හා නෛෂ්ක්‍රම්‍යයෙන් සිත්හි පිරිසිදු බව ඇති වන හෙයින් ද, පිරිසිදු සිල් ඇත්තා හට ම ධ්‍යාන සැපයෙන හෙයින් ද, ශීලයට අනතුරු කොට තෙවනු ව නෛෂ්ක්‍රම්‍යය වදාරන ලදි.


>

නුවණින් මෙහෙයවනු ලැබූ නෛෂ්ක්‍රම්‍යය විපුල ඵල ඇති වන හෙයින් ද, එහි ඇල්මක් ඇති කොට පිරිසිදු ව මහණ දම් පිරිය හැකි හෙයින් ද, නෛෂ්ක්‍රම්‍යයෙන් ගැනෙන සමාධිය හා ප්‍රඥාව ඔවුනොවුන් හා සම්බන්ධයක් ඇති ධර්ම යුගලයක් හෙයින් ද, ප්‍රඥාවට සමාධිය ළං ව ම තිබිය යුතු හේතුව (පද්ට්ඨාන) හෙයින් ද, එමෙන් ම සමාධිය ප්‍රඥාවට වැටැහෙන ආකාරය (පච්චුපට්ඨාන) කොට ඇති හෙයින් ද, සමාධිසංඛ්‍යාත නෛෂ්ක්‍රම්‍යයට අනතුරු කොට සිව්වනු ව ප්‍රඥාව වදාරන ලදි.

වීර්යෙන් තොර ව ප්‍රඥායෙන් කට හැකි දේ සිදු නොකට හැකි හෙයින් ද, ප්‍රඥාව අනු ව ගියා වූ වීර්ය සියලු අර්ථ සිද්ධිය ලබාගැනීමට අග්‍ර හස්තයක් වන බැවින් ද, ප්‍රඥාවට අනතුරු කොට පස්වනු ව වීර්යය වදාරන ලදි.

වීර්යය ඇත්තහුට ම ඉවසීම මොනවට පිහිටන හෙයින් ද, සත්ත්ව සංස්කාරයන්ගෙන් ඇති වන අපරාධ ඉවසිය හැකි හෙයින් ද, ඉවසීම හේතු කොටගෙන නොකඩ ව උත්සාහ කරන හෙයින් ද, ඉවසීම කරණ කොටගෙන අධික වීර්යය මැඬ පවත්වන හෙයින් ද, වීර්යයට අනතුරු කොට සවනු ව ක්ෂාන්තිය වදාරන ලදි.

අවිසංවාදය හෙවත් නොරැවටීම හේතු කොටගෙන ඉවසීම බොහෝ කලක් පුරුදු කට හැකි බැවින් ද ක්ෂාන්තියට අනතුරු කොට සත්වනු ව සත්‍යය වදාරන ලදි.

අධිෂ්ඨානය පොරොන්දු කඩ නොකොට අනුන් නොරවටා වූවක්ම කියා සත්‍යය පුරුදු කිරීමට ඉවහල් වන බැවින් සත්‍යයට අනතුරු කොට අටවනු ව අධිෂ්ඨානය වදාරන ලදි.

මෛත්‍රිය කරණ කොටගෙන පරෝපකාරය පිණිස පවත්නා අචල සමාදානය සිද්ධ වන හෙයින් අධිෂ්ඨානයට අනතුරු කොට නවවනු ව මෛත්‍රිය වදාරන ලදි.

උපේක්ෂාව කරණ කොටගෙන මෛත්‍රීයෙන් පිරිසුදු බව ඇති වන හෙයින් මෛත්‍රියට අනතුරු කොට දසවනු ව උපේක්ෂාව වදාරන ලදි.

මේ නයින් පාරමිතා ක්‍රමය දත යුතු යි.

පාරමී ධර්මයන්ගේ ලක්ෂණාදීහු කවරහු ද?

හැම පාරමීහු අනුනට අනුග්‍රහ කිරීම ලක්ෂණ (සාමාන්‍ය ස්වභාවය) කොට ඇත්තා හ. අනුන්ට උපකාර කිරීම රස (කෘත්‍යය) කොට ඇත්තා හ. හිතෛෂීභාවය හෙවත් හැම සතුන් කෙරෙහි වැඩ කැමැති බව පත්‍යුපස්ථාන (පච්චුපට්ඨාන, වැටහෙන ආකාරය) කොට ඇත්තා හ.


.

හැම සතුන් කෙරෙහි නිරවශේෂයෙන් පතළා වූ මහා කරුණාව හෙවත් මහා කරුණෝපාය කෞශල්‍යය පදස්ථාන (පදට්ඨාන, ආසන්න කාරණය) කොට ඇත්තා හ.

අනුන්ට අනුකම්පා කිරීම පාරමී පුරන අයගේ ස්වභාවය වේ. අනුන් දුකින් වෙසෙන කල තමන්ගේ සිත නිතැතින් ම උණු වේ. එහෙයින් ම ඔවුන් දුකින් මුදා ලන්නට කැමැති වෙති. ඔවුන් දුකින් මුදනා තුරු තමන් හට පී‍්‍රතියකුදු නැත. තමන්ගෙන් උපකාරයක් නො ඉල්වා ම ඔවුනට උපකාර කිරීමට ඉදිරිපත් වෙති. තමන්ගේ අනුකම්පා සහගත චිත්තය එපමණ උදාර බැවිනි.

නිරවශේෂයෙන් හැම දෙන කෙරෙහි ම ඔවුන්ගේ හිතවත් බව පවතී. තමන් හා අනුන් හා වෙනසක් නොකොට තමන්ගේ යහපතට මෙන් අනුන්ගේ යහපතට ද ඔවුහු කැමැති වෙති.

සියලු සත්ත්වයන් කෙරෙහි පතළා වූ හුදු කරුණාව ම ඔවුන්ගේ පරෝපකාරයට ප්‍රධාන කරුණ වේ. කරුණාව බෝසතුන්ගේ විශේෂ අංගයකි. ඔවුන්ගේ සිත කුලුණින් බර වූ කරුණා පිණ්ඩයෙකි. මුවින් පිට වන වචනය ද කරුණා සහගත ය. ක්‍රියාව ද කරුණාන්විත ය. අභ්‍යන්තර කරුණාව ඔවුන්ගේ කුලුණුබර නෙතින් ප්‍රකට වෙයි.

.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *