පව් — පින්

පව් — පින්

කුඩා දරුවාගේ පටන් සෑම බෞද්ධයකු ම බුදු දහමේ ඇති වචනවලින් වැඩියෙන් ම පාවිච්චි කරන වදන් දෙක නම් “පව් — පින්” යන්න යි. එය නොදන්නා බෞද්ධයෙක් නැති තරම් ය. ලක්වැසි අන්‍ය ආගමිකයෝ ද නොගැඹුරින් වුව ද මෙහි අදහස දනිති. ඔවුන්ට ද බෞද්ධයන් නිතර වහරන මේ වදන ඇසී ඇති බැවිනි.

සෑම හොඳ ක්‍රියාවක් ම පුණ්‍ය කර්මයක් වේ. බොහෝ විට පින් මැරුණාට පසු අවශ්‍ය දෙයක් ලෙස අපේ හැදෙන-වැඩෙන බාල හා තරුණ වියේ පසු වන්නෝ සිතති. අතීතයේ මිනිසුන් පින් කළේ මහත් භක්තියෙන් බව කීමට සාක්ෂි තිබේ. මහා තිස්ස රජතුමා පින් රැස් කරගැනීම සඳහා මහසඟනට දානයක් දීමට කුඹුරක හා සීනිමෝලක කුලීකරුවකු ලෙස වැඩ කළ බව අපේ මහාවංසයෙහි දැක්වේ.

සද්ධාතිස්ස රජතුමා තිස්ස නම් එක් උපාසකයකුගේ ශ්‍රද්ධා භක්තිය පිරික්සීම සඳහා කුකුළකු මරන ලෙස නියෝග කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. ප්‍රාණඝාතය නම් වූ පව කිරීමට අකැමැති වූ උත්තරමද්ධාන නම් වූ ගොවියකු තමා වෙළාගත් පිඹුරකු හට අතේ වූ පොරවෙන් නොකපා පොරව ඈතට විසි කළ පුවතක් අපේ වංසකථා පොත්වල දැක්වේ.

සිය මවගේ ජීවිතය බේරාගැනීමට වක්කාහ නමැති උපාසකයෙක් හාවකුගේ දිවි නැසීමට කැමැති නො වී ය.

පින් කරන උපාසකයකුගේ මානසික ශක්තියත් සමාජයේ ඔහු ලැබූ තත්ත්වයත් විදහා දක්වන තවත් කථා පුවතක් “පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසයෙහි” දක්වා ඇත්තේ මෙලෙස ය:

“උපාසකයකු බවට පත් වූ චණ්ඩාලයකු පවා රාජ වරප්‍රසාද ලත් බමුණන්ගේ නියෝගවලට ද අවනත නො වුණි. බහුල නමැති චණ්ඩාලයා සිය පුතුන් සත් දෙනාත් සමග චෛත්‍යයක් බිඳීමට සිරිනාග නමැති බමුණා විසින් දෙනු ලැබූ නියෝගවලට අවනත වූයේ නැත. මෙවැනි නියෝගයක් දීමේ දී පවා සිරිනාග ඔහු ඇමතුයේ ‘මිත්‍රය’ යන වදනින් මිස සාමාන්‍ය සැඬොලකු අමතන වදනකින් නො වේ. මෙයින් පෙනී යන්නේ උපාසකයකු සමාජයේ ඔහු දැරූ තත්ත්වයට වඩා උසස් ලෙස සැලකුම් ලැබූ බවයි.”

අපේ පැරැණියෝ පව් පිළිකුල් කළේ එලෙසට ය. පවෙන් වැළකී ධර්මයේ හැසිරීම ඔහුගේ සැනසිල්ලත් ආරක්ෂකයාත් විය.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති”

ධර්මයේ හැසිරෙන්නා ඒකාන්තයෙන් ධර්මය විසින් ම ආරක්ෂා කැරේ. ධර්මයේ මනාව හැසුරුණේ සුව එළවයි. එහි ධර්මය නම් සුචරිතය යි.

“පුඤඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ”


.

— පාප වග්ගය, ධම්මපදය

පින් කරන්නා නිතර නිතර එය කළ යුතු ය; පිනට ආශා කළ යුතු ය. පින් රැස් කිරීම සැපයට හේතු වේ.

පින් කිරීම අවබෝධයකින් යුක්ත ව කරන්නේ නම් වැඩි ප්‍රයෝජනයක් අත් කරගත හැකි ය. පින් පව් පිළිබඳ නිවැරදි විනිශ්චයක් දී ඇත්තේ අප ගෞතම බුදු රජාණන් වහන්සේ යි. බුදුරදුන්ට පෙර කල ද සත්පුරුෂයන් පින්කම් කළ බවට කොතෙකුත් සාධක තිබේ.

දානයත්, ශීලයත්, භාවනාවත් එකල ද විය. එකල තාපසයනට බැතිමතුන් “දන්” දුන් බවත්, මහාමායා දේවිය “පෙහෙවස් සමාදන් ව” වුසූ බවත්, අසිත ආදි තාපසයන් “භාවනා” වඩා ධ්‍යාන ආදිය උපදවා තිබූ බවත් බෞද්ධ ග්‍රන්ථයන්හි ද සඳහන් කර ඇති බව දැකිය හැකි ය.


.

එහෙත් එකල පුණ්‍ය ක්‍රියා පිළිබඳවත් ඒවා කරන ආකාරය පිළිබඳවත් නිරවුල් දැනීමක් නො වී ය. බුදු රජාණන් වහන්සේගේ පහළ වීමත් සමග ලොවට පින් කිරීම පිළිබඳ ව ක්‍රමානුකූල දැනීමක් ඇති කරගැනීමට හැකි විය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *