ප්‍රඥාවයි — කරුණාවයි

ප්‍රඥාවයි — කරුණාවයි

ඇස, කන, නාසය, දිව සහ කය ආධාර කරගෙන මිනිසා අවට ලෝකය ගැන තතු දැනගනී. මෙ පඤ්චේන්ද්‍රියන් සමඟ අරමුණු ගැටීම තුළින් මිනිසා සිය දැනීම වර්ධනය කරගනු ඇත. ඒ දැනීම පිළිබඳව මිනිසා තුළ පැහැදීමක් හෝ අපැහැදීමක් හෝ මධ්‍යස්ථ හැඟීමක් හෝ ඇති වීම සිදු වේ. පඤ්චේන්ද්‍රියෙන් ලැබෙන දැනුම තමා සතු බුද්ධිය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. දහසක් දෙනා දහසක් ලෙසින් තමා නිවසන ලෝකය තේරුම් ගන්නේ එනයිනි.

අනුරාධපුර යුගයෙහි වැඩ සිටි බුද්ධඝෝෂ හිමියන් මිනිසාගේ මේ විවිධත්වය ගැන දක්වන අදහස ඉතා වැදගත්ය. ඒ හිමියෝ, මිනිසාගේ දැනීම සඤ්ඤා, විඤ්ඤාණ සහ පඤ්ඤා යනුවෙන් අවස්ථා 03කට බෙදා වෙන් කළහ.

ප්‍රඥාවට මුළුමනින්ම විරුද්ධ ධර්මතාව අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් සිත ආවරණය කොට ප්‍රඥාව වසා සඟවාගෙන සිටී. ප්‍රඥාව වර්ධනය කරගැනීමට ලෝභ, ද්වේෂ සහ මෝහ යන හේතු තුන බාධා ඇති කරයි. මෙම හේතු අතරින් මෝහය හෙවත් අවිද්‍යාව ප්‍රධාන තැන ගනී. අවිද්‍යාව නම් ධර්මතාව නිසා ලොව සත්ත්වයෝ පසිඳුරන්ට අරමුණු වන අන්දමටම ලෝකය දෙස බලනු විනා ප්‍රඥා ඇසින් ලොව දෙස බැලීමක් නොකරති.

ලෝකය දෙස ප්‍රඥා ඇසින් බලා ප්‍රඥාවේ පරිපූර්ණත්වයට ළඟා වීම බුද්ධ දර්ශනයේ පරමාර්ථය වේ. පංචනීවරණයන් ප්‍රඥාව යටපත් කර, අවිද්‍යාව ඉස්මතු කරයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීිවරණයන් මඟින් මොහඳුර වඩාලයි. එක් එක් සත්ත්වයාගේ ප්‍රඥාව ඒ ඒ ප්‍රමාණයට වැඩී ඇත. ප්‍රඥාව හීන අන්ධබාලයාට තමන් මෝඩ කෙනෙකැයි කනස්සලු වීමට අවශ්‍ය නැත. හේතුව, සෑම දෙනාටම ප්‍රඥාව දියුණු කරගැනීමට හැකි බැවිනි.

බුද්ධිමත් ගුණයෙන් අඩු, ප්‍රඥාව වැඩී නැති අයට පවා ප්‍රඥාව වැඩි—දියුණු කරගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කරගැනීමට බුද්ධ ධර්මය උගන්වයි. මන්දබුද්ධික මිනිසුන්ට පවා බුද්ධ ධර්මය නිසි ලෙස හැදෑරීමෙන් ප්‍රඥාව අවදි කරගත හැකිය.


.

සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුකූල හැසිරීම යන මාර්ග සතරින් ප්‍රඥාව දියුණු වී යයි. ප්‍රඥාව එක වසරකදී හෝ එක ජීවිතයකදී හෝ දියුණු කරගත හැක්කක් නොවේ. එය ක්‍රමයෙන් දියුණු කරගත යුතු ධර්මතාවකි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි සහ ප්‍රඥා ලෙසින් කොටස් 03කට බෙදේ. ප්‍රඥාව ලැබීමට බලාපොරොත්තු වන ගිහියා හෝ පැවිද්දා ප්‍රථමයෙන්ම ප්‍රඥාවේ පසුබිම වන සීලයෙහි පිහිටිය යුතුය. ගිහියකු නම් පන්සිල්, අටසිල්—දසසිල්වලින් ද පැවිද්දකු නම් අදාළ සිල් රැකීම මඟින්ද සිය ජීවිතය පිරිසිදු කරගත යුතුය.

සමාධිය හෙවත් භාවනාව පුරුදු කර ප්‍රඥාවේ පරිපූර්ණත්වය ලැබීමට පසුබිම වන්නේ සීලයයි. සීලය නොමැත්තා තුළ සම්‍යක් ප්‍රඥාවක් ඇති නොවේ. ඔහු තුළ ගොඩනැගෙන ප්‍රඥාවෙන් කිසි විටෙක නිවන් සුවය අත් කරගත නොහැකිය. “සීලටෙහි පිහිටියා වූ ප්‍රඥාවන්ත භික්ෂුව සිතද නුවණද පුහුණු කොට කෙලෙස් තැවීමෙන්ද උත්සාහයෙන්ද මේ අවුල ලිහන්නේය.” යනුවෙන් සීලය ප්‍රඥාව ලැබීමට අත්‍යවශ්‍ය බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයද ආරම්භවන්නේ ප්‍රඥාවෙනි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවට වැටේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුපිළිවෙළින් සීල, සමාධි, ප්‍රඥා ලෙස දක්වා ඇතත් සීලයද සම්මා දිට්ඨි මත සිට රැකිය යුතු නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රථම අංගය ලෙස සම්මා දිට්ඨි දක්වා ඇත. ප්‍රඥාවේ අග්‍රඵලය ලොවුතුරා බුද්ධත්වයයි. එතැනට සම්ප්‍රාප්ත වීම සඳහා කල්ප. ගණනාවක් පෙරුම්දම් පූරණය කළ යුතුය.

නිර්වාණය හෙවත් විශිෂ්ටතම ප්‍රඥාව ලබාගැනීම සඳහා ගිහි පැවිදි සියල්ලන්ම තුළ අචල ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව තුළින් අවැඩද බොහෝ විට සිදු විය හැකිය. ඉතා විධිමත්ව සැලසුම් කර නිවෙස්වලට ඇතුළුව මුදල් සහ භාණ්ඩ, ගෙහිමියාට අසු නොවී සොරකම් කරන පුද්ගලයන් එසේ කරනු ලබන්නේ බුද්ධිය පෙරදැරි කරගෙනය. මිනීමරා සාක්ෂි නැති වන අන්දමින් අසු නොවී සිටින්නන්ද ඒ කාර්යය පිළිබඳව බුද්ධිමත් අය වෙති. ඔවුන් බුද්ධිමතුන් වුවත් සද්ධාව නොමැති හෙයින් නොමග ගොස් ඇත. මෙලෙස ප්‍රඥාව හරිමග ගමන් කරවීමට සද්ධාව අවශ්‍යය. සමහර අය ළඟ ප්‍රඥාව නොමැතිව සද්ධාව පමණක් ඇත. අන්ධ භක්තිකයන් ලෙස ගැනෙන ඔවුන්ට බුදු දහමින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකිය. බුදු රදුන් ගැනත් ධර්මය ගැනත් නුවණින් පහදින්නාට තරම් විචාරවත් බුද්ධියක් සද්ධාවෙන් පමණක් සිත පුරවාගත් අයට නැත. බුද්ධ ධර්මය අවබෝධ කරගැනීමේ ප්‍රඥාවක් නැති කෙනකු බෞද්ධයකු වීම තේරුමක් නැති වැඩකි.

බුද්ධ ධර්මයේ ප්‍රඥාවට සුවිශේෂ තැනක් දී ඇත. සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලබාගැනීමෙන් අනතුරුව බැසගත් තීරණය තුළින් ද එය පැහැදිලි වෙයි. “මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගැඹුරුය. දුකින් දත යුතු වේ; දුකින් අවබෝධ කටයුතු වේ; ප්‍රණීත වේ; තර්කයෙන් නොදත හැකි වේ; සියුම් වේ, පණ්ඩිතයන් විසින් දත යුතු වේ; පස්කම් සැපතෙහි හා තෘෂ්ණාවෙහි ඇලෙන්නා වූ ඇලුණා වූ ප්‍රජාව විසින් මේ සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ යම් ප්‍රනීත්‍ය සමුත්‍යාදයක් වේද මෙය දුකින් දත යුතු වේ” යනුවෙන් තමන්.

වහන්සේ අවබෝධ කළ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණක් ඇරෙන බව සිතූ සේක. බුද්ධ ධර්මයෙන් කැරෙන්නේ ප්‍රඥාවේ අග්‍රඵලය නෙළාගැනීමට මග සැලසීමයි. සමථ භාවනාවෙහි යෙදෙන තැනැත්තා පංචනීවරණ ධර්ම දුරු කරමින් රූපාවචර ධ්‍යාන අත් කරගනී. ඉක්බිති අරූපාවර ධ්‍යානද ද්වි විධ ඥානයද ලබාගනී. එය ලබාගැනීමෙන් පසු අහසින් යෑමට, ජලය මත ඇවිදීමට, බිත්ති තුළින් එහා මෙහා යෑමට, හිරු—සඳු ඇල්ලීමට හැකියාව හිමි වේ. ඉන් පසු දිව කනද, දිවැසද ලැබේ.

තව තවත් ප්‍රඥාව දියුණු කරමින් භාවනා කරන විට පරචිත්ත විජානන ඥාණය, පූර්වේනිවාසානුස්මෘති ඥානයද ලැබේ. චුතූපපාත ඥානය ලද පසු සත්ත්වයා සංසාර සාගරයේ සැරිසරන අන්දම පෙනෙන්නට පටන්ගනී. අවසාන වශයෙන් ආසවක්ෂය ඥානය පසක් වේ. මෙම ඥානයෙන් දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම, ඒ සඳහා අනුගමනය කරන මාර්ගය අවබෝධ වේ. එම ඥානය ලැබීත් සමඟ දත යුතු සියල්ල දැන ප්‍රඥාවේ පරිපූර්ණත්වයට පත් වේ.

“පමාදං අප්පමාදේන
යදා නූදති පණ්ඩිතෝ
පඤ්ඤා පාසාදමාරුය්හ
අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝච භුම්මට්ඨේ
ධීරෝ බාලේ අවෙක්ඛති.”

(ධම්මපද, අප්පමාද වග්ගය, 8)

අප්‍රමාදයෙන් ප්‍රමාදය පලවා—හරින පණ්ඩිතයා ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැග පර්වතයක මුදුනෙහි සිටින්නකු බිම සිටින්නන් දෙස බලන්නා සේ සෝකයෙන් තොරව සිට, සෝකයට පිළිපන් මෝඩ ප්‍රජාව දෙස බලයි. ප්‍රඥාව සියල්ල පෙනෙන උස ප්‍රාසාදයක් ලෙස මින් කියැවේ.


.

මෙලෙස ප්‍රඥාව නම් ප්‍රාසාදයට නැගගත් අයෙකුට විනා වෙන අයෙකුට ලෝකයේ ඇති—තතු එලෙසින්ම බැලීමට නොහැකිය.

බුද්ධ ධර්මයේ කරුණාවට විශේෂ තැනක් හිමි වී ඇත. කරුණාව යනු කරදරයට පත් වූවන් දැක හද තුළ ඇති වන කම්පාවය. කරුණාව බ්‍රහ්ම විහාර අතරින් එකකි. ප්‍රාග් බෞද්ධ සමයෙහි පටන් බ්‍රාහ්මණයන් පවා බ්‍රහ්ම විහාර පුරුදු කර උත්තරීතර සුඛය වූ බ්‍රහ්මයන් සමඟ එක් වීම ප්‍රාර්ථනා කර ඇත. බුදුන් වහන්සේ බ්‍රහ්ම විහාර හතරම අනුමත කළ සේක. බ්‍රහ්ම විහාර පුරුදු කිරීමම සත්‍ය ගවේෂණයේ ආරම්භයත් අවසානයත් ලෙස බ්‍රාහ්මණයන් පිළිගත් නමුත්, බුදුන් වහන්සේ එය නොපිළිගත්හ. කරුණාව පුරුදු කළ අය අතරින් ලොව ශ්‍රේෂ්ඨම මිනිසා බුදුන් වහන්සේ බවට තර්කයක් නැත.


.

“මහා කාරුණිකෝ නාථෝ”“කරුණා සීතල හදයං” යන වදන්වලින් බුදුන් වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. කරුණාව ස්වාර්ථ සාධනයට මගකි. ස්වාර්ථ සාධනයක් සාදා නොගෙන පරාර්ථ සාධනයක් කළ නොහැකි හෙයින් ප්‍රථමයෙන්ම සිදුහත් තවුසාණෝ බ්‍රහ්මචරිය පුහුණු කර අවසන් කොට, කළ යුතු සියල්ල කර අවසන් කොට මහත් කරුණාවෙන් අනුන් වෙනුවෙන් ඉතිරි කාලය යෙදැවූහ.

ආත්මාර්ථකාමිත්වයෙන් පරාර්ථ චර්යාවද ඉටු වන ආගමක් ලෙස බුද්ධාගම ගැන කතා කළ හැක්කේ එහෙයිනි. උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදින බුදුන් වහන්සේ, රෝගීන්, අනාථ දරුවන්, දාසියන්, මිනීමරුවන්, කෙටි ආයුෂ ඇත්තවුන් ආදීන් සොයාගෙන ගොස් කරුණාවෙන් පිහිට වූ සේක. කරුණාව ඔස්සේ සිත දියුණු කරගත් විට නිවනද ලබාගත හැකිය. අට්ඨක නාගර නම් ගෘහපතියා ආනන්ද තෙරුන් වහන්සේගෙන් අනුත්තර විමුක්තියට පැමිණීමට ඉවහල් වන කරුණු විමසූ විටදී උන් වහන්සේ කරුණා භාවනාව මගින්ද විමුක්තිය ලබාගත හැකි බව පවසා ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *