පින් සිතක මහිමය

පින් සිතක මහිමය

පිවිතුරු පින් සිතක් සලසන සෙත අතීතයේ සහ වර්තමානයේ වූ සිදුවීම් දෙකක් ඇසුරෙන් මේ ලේඛකයා විස්තර කරයි.

මිනිස් සිත තරම් අතිබලසම්පන්න ශක්ති විශේෂයක් ලෝකයේ තවත් නැත. සිතක ශක්තිය රඳා පවත්නේ හිත අරමුණ වෙත යොමු කරන චේතනාව මතයි කියවේ. හිතට ව්‍යායාමයක්—පුහුණුවක් අවශ්‍ය වන්නේ හිත කෙලෙස්වලින් නිදහස් කරගැනීමට ය. මනස සසල වන්නේ හැඟීම් හා චෛතසිකයන්ගේ වසඟයට පත් වීම හේතුවෙනි. සෙලවෙන සසල වන හිතක බලය අඩු ය. සංස්කාර ය යි කියන්නේ හිතේ මේ වැනෙනසුලු ගතියට යි. නූතන ලෝකයේ විද්‍යාත්මක හා තාක්ෂණික උපකරණ ගැන හිතන විට, මේවා ලොවට, බාහිරයට හිත යොමු කොට මෙබඳු විස්මිත දේ සොයාගත්තා නම්, තමා ඇතුළතට (හිත දෙසට ම) මේ ශක්තිය යෙදවූවා නම්?

අසන්ට දකින්ට ලැබෙන සුලභ සිද්ධියක් අනුසාරයෙන් සිත වැඩ කරන හැටි දැනගැනීමට උත්සාහ කරමු. එක්තරා මවක් හා දියණියක් දුර බැහැරක පිහිටි තම ගෙදර සිට අනුරාධපුයේ සිටින තම නෑදෑයන් බැලීමට යති. ඔවුන් අනුරාධපුර පූජනීය නගරයට පිවිසෙත් ම නුදුරින් පෙනෙන සුදෝ සුදු පැහැයෙන් බැබළන රුවන්මැලි සෑ සමිඳු දක්නට ලැබේ. මව දියණිය අමතා මෙසේ කියයි: “අප මේ ඇවිත් තිබෙන්නේ වටිනා පුණ්‍ය භූමිකට යි. අර කිරි පැහැයෙන් බබළන්නේ රත්නමාලී මහා චෛත්‍ය රාජයා ය. අප පැමිණි ගමනින් වඩාත් ප්‍රයෝජන ගැනීමට ඒ චෛත්‍ය රාජයා ද වන්දනා කර යමු: ඒක මහා පින්කමක්.” දුව ද මවගේ කීමට එකඟ වෙයි.

මොවුන් සෑ රදුන් වෙත ළං වත් ම ශ්‍රද්ධාව ද ක්‍රමයෙන් වැඩි වන්නට විය. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු නිධන් කර තනන ලද්දා වූ ද, අපමණ දෙව්—බඹුන්ගේ වැඳුම—පිදුම්වලට ලක් වූවා වූ ද ආදි වූ පවත් සිහිපත් වෙත් ම මොවුන්ගේ ශ්‍රද්ධාව තව තවත් වැඩෙන්නට විය. සෑ රදුන් වෙත දෙදෙන ම නොපැකිළිව ගමන් කළහ.

මේ හැර මහා සෑය වන්දනා කිරීමෙන් මතු ලැබිය හැකි ශරීර ශෝභාව, දිව්‍ය බ්‍රහ්ම ලෝක—වල සැපවත් උපත්, මිනිස් ලොවෙහි යස ඉසුරු ලබා ඉපදීම ආදිය සිහියට එන විට වන්දනා කිරීමේ අභිලාෂය වඩ වඩාත් වර්ධනය විය. මල් හලකින් මල් ද මිලයට ගෙන, ශාන්ත ගමනින් ගොස් වැලි මළුව කඩිසර ව පියමන් කර සලපතළ මළුවට පවිසුණ මුත් එය වඩාත් රත් වී තිබූ නිසා දැරිය සෙවණකට වී සිටිමි යි සිතා මවට පමණක් ගොස් වන්දනා කරන ලෙස කියා සිටියා ය. එහෙත් මේ අගනා අවස්ථාව පැහැර නොහරින ලෙස කියමින් මව දියණිය ද මල් පූජාවට එක් කරගත්තා ය.

මේ දෙදෙනාගේ පූජාවන්හි සැබෑ අර්ථය මඳක් විමසා බලමු. දියණියගේ පින් සිතිවිල්ල ශරීර වේදනාව හමුවේ පසු බැසීමට ලක් විය. දුව මල් පූජාවට එක් වූයේ මවගේ ඇවිටිල්ල නිසා ය. මව ස්වකීය සන්තානයේ උපන් ශ්‍රද්ධාවට පා පිලිස්සීම් ආදිය බාධාවක් කර නොගත්තා ය. කුසලයක් උසස් හෝ පහත් වීමට හේතු වන ප්‍රධාන කාරණය වන්නේ ඤාණ සම්ප්‍රයුක්ත වීම යි. එසේ ම උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලය ද, බලවත් වේ. මේ දෙදෙනාගේ ම සිත් සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත ය. එතේ මවගේ කුසලය අසංඛාරික හෙයින් වඩාත් ප්‍රබල ය. දියණිය අවසාන අවස්ථාවේ දී මවගේ කැඳවීම නිසා පැමිණි හෙයින් සසංඛාරික වන නිසා ආනිශංස අඩු වේ. අපේ සිත්වල සේ සියුම් තැන් විග්‍රහ කිරීමෙන් සිත ගැඹුරට හඳුනාගැනීමටත් එය කුසලානිශංස වර්ධනයටත් යොමු කළ හැකි ය.

ඉහත දැක්වූයේ කල්පිත සිද්ධියකි. බුදු රජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වසන සමයේ සිද්ධ වූ සැබෑ ප්‍රවෘත්තියකින් මේ කාරණය වඩාත් පැහැදිලි කළ හැකි වේ.

බුදු රදුන් හිමිදිරියේ ලොව බලා වදාරන සේක් සුමන නම් වූ මල්කරුවා බුදු නෙතට හසු විය. සුමන බින්දුසාර රජතුමාගේ සේවකයෙකි. දිනපතා මල් නැලි අටක් නෙළා ගෙනවුත් රජතුමාගේ බිසෝවරුන් අට දෙනාට මල් පූජාව සඳහා සැපයීම මොහුගේ රාජකාරිය විය. ඒ සඳහා ගාස්තුව වශයෙන් ඔහුට කහවණු අටක් ලැබේ.

මෙසේ මල් නෙළාගෙන එන සුමන ඉදිරියට මහා සංඝරත්නය පිරිවරාගෙන සවනක් ගණ රශ්මි මාලාවන් විහිදුවමින් ඉතා අලංකාරවත් ව සන්සුන් ගමනින් බුදු රදුුහු වඩිති. ඇතුළු නුවර නව කෝටියක් ජනතාව ය. පිටි නුවර ද නව කෝටියකි. මේ මහා ජනකාය තෙරපෙමින් පොදිකමින් මේ අසිරිමත් බුදු පාමොක් මහා සංඝ රත්නය වඩනා මහ පෙරහර බලන්නට රැස් වූ හ.

ශ්‍රද්ධා භක්ති ප්‍රණාමයෙන් නැහැවී ගිය මේ මහා ජනකාය සමුදුරු රළ ගොස පිරී යන සේ මහා දෝංකාර දෙමින් සාධු හඬ නැගූ හ. එය නරඹන්නට අවස්ථාව ලැබුවත් මොන තරම් වාසනාවක් ද? මල් නෙළාගෙන එමින් සිටින තමා හමුවට මහා සංඝයා සපිරිවරින් බුදු රදුන් වඩිනු දුටු සුමන තමා අත වූ සමන් මල් බුදුන් උදෙසා පූජා කරමැයි සිතත් ම එසේ කළ හොත් රජතුමාගෙන් දඬුවම් විඳින්නට සිදු වෙතැයි ද ඇතැම් විට හිස ගසා දමතැයි ද සිතා පසුබෑමක් ඇති විය.

බුදු රදුන් සුමනගේ අතීත භාවය මෙසේ සිහිපත් කළ සේක. අතීත භවයක දී මේ තැනැත්තා ඛණ්ඪ සුමන නමින් ඉපදී සිටියදී බුදුන් විෂයයෙහි එක් පෙත්තක් පණුවන් කා දමා තිබූ මලක් පිදූ පින් බලයෙන් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ලෝකවල සැපසම්පත් සහිත ව උපත ලැබී ය. සසරෙහි එවන් සැප විඳි සුමනගේ මේ ගුණය එසේ ම පැවතගෙන වුත් කල්ප අසූ හාරදහසකට පසු ව මේ කාලයේ ද මෙසේ සුමන මල්කරුවා ව ඉපිද බුදුන් විෂයයෙහි අපමණ ශ්‍රද්ධා ගුණයෙන් යුතු ව මල් පූජා කළේ ය.

සුමනගේ හිත මොහොතකට පසු බැසීමට පත් වුවත් යළිත් දැඩි පුණ්‍ය චේතනාවක් හට ගත්තේ ය. රජතුමා උදහස් වී තමාට කවර තරම් දඬුවමක් දුන්නත් ප්‍රශ්නයක් නැතැයි සිතා පැසින් මල් අහුරක් ගෙන, බුදු රදුන් දෙසට විසුරුවා හැරියේ ය. ඒ මල් බුදුන්ගේ දකුණත් පසින් මලින් කළ තිරයක් සේ රැඳී සිටියේ ය. ඒ සමඟ ම තවත් මල් මිටක් විසුරුවා ලූ විට ඒ මල් වමත් පසින් තිරයක් සේ පිහිටියේ ය. තවත් මල් මිටක් දැමූ විට ඒ මල් සෙසු තිර දෙක එකට සම්බන්ධ කෙරෙමින් බුදුන්ගේ පිටු පසින් පිහිටියේ ය. දැන් බුදු රදුන් ඉදිරි පසින් හැර තුන් පැත්තකින් ම සමන් මල් තිරයෙන් ආවරණය වී ය. මේ අසිරිය දුටු සුමන ඉමහත් පී‍්‍රතියට පත් විණ. පසෙහි මල් අවසන් වුව ද දඬුවම පිළිබඳ හාංකවිසියක් වත් ඔහුට සිහි නො වී ය.

සුමන හිස් අතින් නිවෙසට ආ විට මල් ගෙනාවේ නැද්දැ යි සුමනගේ බිරිය ප්‍රශ්න කළේ ය. සිද්ධ වූ දේ ඇයට පැවසූ විට ඇය රජ මැඳුරට ගොස් මේ පිළිබඳ ව රජතුමාට සැල කර සිටියා ය. රජතුමා ඒ අසා කලබලයට පත් නොවී බිසෝවරුන්ට මල් නැති වීමේ ප්‍රශ්නය තමා ම විසඳමි යි කියා බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වඩනා ඒ අසිරිමත් පෙරහර බලන්නට වහ වහා නික්මිණ; ඒ පෙරහර නරඹා නොනැවතී මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව බුදු රදුන්ට තම මාළිගයට වඩනා ලෙස ආරාධනා කර සිටියේ ය. බුදු රදුන් මාළිගය තුළට වැඩම නොකර—එළිමහනේ ම වැඩ සිටියේ සුමන විසින් විසුරුවාලූ මල් වියන් සෙසු අයටත් දැකගැනීමෙන් සුමනගේ පුණ්‍යවන්ත භාවය ද ප්‍රදර්ශනය වීමට සැලැස්වීමට ය.

අනතුරු ව ඒ මල් වියන ඇතිරිල්ලක් බවට පත් වී බුදු රදුන්ට බුමුතුරුණක් ලෙස සිරි පතුල් පිළිගත්තේ ය. සුමනගේ මේ පූජාව සියැසින් දැක බලාගත් රජතුමා ඔහුට දඬුවම් දෙනු වෙනුවට ඔහු විසින් සිද්ධ කරන ලද පින්කම අගයමින් ඔහුට “සමිටිභට්ඨක” යන තනතුර පිරිනැමී ය. එම තනතුරට අනුව ඔහුට දාසයන් අට දෙනෙක් ද, දාසියන් අට දෙනෙක් ද, අසුන්, ඇතුන් රිය ආදි සියලු දේ අට දෙනෙකු බැගින් ද හිමි විය.

බුදුරදුන්ට මල් පූජා කළ පින්වල ආනිශංස මෙලොව දී ම ලැබුයේ එලෙසිනි. පළමු මල් මිට අතට ගනිත් ම රජතුමාගෙන් විඳින්නට සිදු විය හැකි දඬුවම් පිළිබඳ ව සිහි වුවත් එය හිරු දුටු පිනි මෙන් නැත්තට ම නැති වී ගොස්, පින් සිත ම පෙරටු වූයේ ය.

ඔහු පළමු මල් මිට විසුරුවා ලූයේ මේ පූජාව කරන්ට ලැබීම වෙනුවෙන් තම ජීවිතය වුවත් පූජා කිරීමට සූදානම් වෙමිනි.

එනිසා සුමන මල් පූජාව කළේ අසංඛාර සිතකිනි.

සිතෙහි මේ සියුම් ස්වරූපයන් හඳුනාගැනීමෙන් අප සැමට මේ සසර කෙටි කරගැනීම සඳහා ගත යුතු සුදුසුතර පියවර නිවැරදි ව ක්‍රියාවට නැංවිය හැකි වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *