ශාන්ත ප්‍රණීත නිවන් සුවය

ශාන්ත ප්‍රණීත නිවන් සුවය

අද නවම් පුර අටවක පොහෝදා ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ඉහත දැක් වූ ගාථා ධර්මයේ සාමාන්‍ය සිංහලාර්ථය මෙසේය. “නිරෝගී බව උසස්ම ලාභයයිි. සතුට උසස්ම ධනය යි. විශ්වාසවන්තයා උසස්ම ඥාතිවරයායි. නිවන උසස්ම සැපතයි.”

ශරීරය ලෙඩ රෝගවලින් යුක්ත වූ විට,නොලැබුණු දියුණුවක් ලබන්නටත්, ලැබුවා වූ දියුණුවෙන් ප්‍රයෝජන ගන්නටත් නොහැකි වේ. සිතෙහි සන්තෝෂයෙන් ක්‍රියා කිරීමද කායික මානසික නිරෝගිතාව සඳහා බෙහෙවින් හේතු වෙයි. විශ්වාසවන්ත සද්පුරුෂ ආශ්‍රය ජීවිතයේ පරම අභිවෘද්ධිය සඳහා හේතුවේ. මේ අතර උසස්ම සුවය නිවන් සුවයම වනු ඇත. නිවන යන ශබ්ද මාත්‍රය පවා සැදැහැවතුන් ගේ කන් පිනවන, සිත සනසන මිහිරි හඬෙකි. කිසියම් කුසලයක් සිදුකොට සැවොම ප්‍රාර්ථනා කරනුයේ නිවන් සුවය ය. සැමගේ එකම පරමාර්ථයත් එම උතුම් නිවනයි.

තෘෂ්ණාව “වාන” යනුවෙන් හැඳින්වේ. “නි” යනු නික්මීම යන අර්ථයයි. මෙම වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මීම “නිබ්බාන” යනුවෙන් අර්ථ දැක්විය හැකිය. මෙය නිත්‍ය දෙයක් වන හෙයින් කිසිකලෙකත් අභාවයට පත් නොවේ.

එසේම මෙම නිවන සඳහා බොහෝ සත්වයින් පැමිණීමෙන් එහි පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌණ තත්ත්වයක් හෝ ඇති නොවේ. මෙහි පැරැණි, අභිනව, හීන යනාදී භේදයකුදු නැත. මෙම නිර්වාණය වනාහි හුදෙක් හටගැන්මක් හෝ සටහනක් නොමැති ලෝකෝත්තර ධර්මතාවයෙකි.

නිවන හුදු වේදයිත සුඛ ගණයට අයත් නොවේ. එනම් එහි කයින් හෝ මනැසින් විඳිිය හැකි සුවයක් නොමැතිවීමයි. වේදයිත සුඛ යනු මිනිස් බවට හෝ දෙවි බවට පත්ව පස්කම් සැපතින් ලබන සුවයයි. එම වේදයිත සුඛ මොහොතින් මොහොත විදුලියක් සේ වෙනස් වේ. එබැවින් එය අනිත්‍යයි. දුකක්ම උපදවයි. වරෙක උදායි තෙරණුවන් විසින් සැරියුත් තෙරණුවන් ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ “විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක් පවතීද?” යන්නයි. එයට සැරියුත් තෙරණුවන්ගේ පිළිතුර වූයේ “යම් හෙයකින් මෙම නිවනෙහි විඳීමක් නැත්තේද එහි සුවය එයම වේය” යන්නයි.

නිර්වාණය සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීමෙන් ලැබිය යුතු වූ අවේදයිත සුවයකි. වේදයිත, අවේදයිත සුඛ දෙකෙහි වෙනස කෘෂ්ඨ ‍රෝගී උපමාවක් මඟින් පැහැදිලි කොට තිබේ. කුෂ්ඨ රෝගියා කැසීමෙන් හා ගින්නෙන් තැවීමෙන් මොහොතක සුවයක් ලබයි. ඒ සුවයම දැවීම් ආදිය ඇතිවීමෙන් පසුව දුකට පත්වේ. මෙවිට ඔහු රෝගය සුවවීමට අදාළ බෙහෙතක් භාවිත කිරීමෙන් එය සුවකර ගතහොත් එයින්ම ශාන්ත සුවයක් විඳියි. මෙම කුෂ්ඨ රෝගියා මුලින් විඳි සුවය වේදයිත සුවයයි. පසුව ලැබූ සුවය සන්සිඳීමේ සුවයයි. සත්වයා පස්කම් සුව විඳ තාවකාලික සුවයක් ලබයි. එහෙත් නිවන් සැප විඳ එවැනි තාවකාලික සුවයක් නො ලබයි. එය හුදෙක් දුක් සන්සිඳීමේ සුවයක් වන හෙයිනි.

යථා තත්ත්වය එයාකාර වුවද සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ වේදයිත සුවයම උසස් බවයි. ඒ අනෙකක් නිසා නොව එය ඔහුට අනාදිමත් කාලයෙක සිට පුරුදුව පුහුණුව ආ හෙයිනි.

අවේදයිත සුවය විඳි බුදු, පසේබුදු, මහරහත් යන ආර්ය උතුමන්ට පමණක් වේදයිත සුවයේ අසාරත්වය පෙනෙයි. නිර්වාණය පිහිටි තැනක් නැත. ලෝකයෙහි ගිනි පවතී. එහෙත් රැස් වී පවත්නා තැනක් නැත්තාක් මෙනි. ගින්න දැල්වීමට අවශ්‍ය උපකරණ ඇති කල්හි ගිනි උපදවා ගත හැකිය.

එසේම ශීල, සමාධි, පඤ්ඤා ආදි ධර්මයන් ඇති කල්හි විද්‍යාමාන වූ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකිය හැකිය. එබැවින් තමතමන්ගේ නිර්වාණය පවත්නේ අන්‍ය දිශා දේශයක නොව තම තමා කෙරෙහිමය.

ඉහත දැක්වූ ආකාරයට නිර්වාණය පිහිටි ස්ථානයක් නොමැති හෙයින් එය ශූන්‍ය ධර්මයකැයි වටහා නොගත යුතුය. ඇස් ඇත්තවුන් විසින් ඇසින් දකිනු ලබන සඳමඩල සේ මාර්ගඤාණලාභී ආර්යයන් විසින් මාර්ග ඤාණයෙන් නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කරනු ලැබිය යුතුය.

උපතින් අන්ධ වූවකුට සඳමඩල දැකිය නොහැකිය. එහෙත් ඔහුට සඳමඩල නැතැයි කිව නොහැකිය. එසේම ප්‍රතිපත්ති විරහිත අන්ධ පෘථග්ජනයනට නිර්වාණය දැකිය නොහැකි වුණද නිර්වාණය නැතැයි කිව නොහැකිය.

නිර්වාණය ස්වභාවයෙන් එකක්ම වුවද එය සෝපාදිසේස හා අනුපාදිසේස යැයි දෙවැදෑරුම් ස්වභාවයකින්ද යුක්තවෙයි. පංච ස්කන්ධය තිබියදී කෙලෙසුන් නසා නිර්වාණාවබෝධය ලැබීම සෝපාදිසේස නිබ්බානයයි. එනම් අරහත් මාර්ගඵල ලබා ජීවත්වීම ලෙස සරලව කිව හැකිය. ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවීම අනුපාදිසේස නිබ්බානයයි.

මෙවන් කෙටි හැඳින්වීමකින් නිර්වාණය පිළිබඳ මඳ විස්තරයකුදු ඉදිරිපත් කළ නොහැකිය. එහෙත් මෙම කරුණු ස්වල්පය හෝ මනා විචාරශීලි මනැසකින් විමසා බලන්නකුට නිර්වාණය යනු කුමක් ද යන්න පිළිබඳ යම් වැටහීමක් ලබාගැන්ම අපහසු නොවනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *