සැදැහැයෙන් ක්‍රියා කරමු

සැදැහැයෙන් ක්‍රියා කරමු

බුදු සමයෙහි ශ්‍රද්ධාවට ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බෞද්ධ ජීවිතයකට පදනම වැටෙන්නේ ශ්‍රද්ධාව තුළිනුයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය විෂයෙහි මනා අවබෝධයකින් යුක්තව පැහැදීමට පත්වීම ‘සද්ධාව’ ලෙස ඉතා සරලව හඳුන්වා දිය හැකි ය.

කසීභාරද්වාජ සූත්‍රය > තුළින් “සද්ධාව” යනු කුමක්දැයි ඉතා පැහැදිලිව විස්තර කෙරේ. කසීභාරද්වාජ සුප්‍රසිද්ධ බ්‍රාහ්මණ ගෝත්‍රිකයකු වුවත්, කෘෂි කර්මාන්තයෙන් ස්වකීය දිවිපෙවෙත රැක ගත්තෙකි. බමුණා ගේ වප් මඟුල් දිනය දා බුදුරජාණන් වහන්සේ එම උළෙල පැවැති ස්ථානයට වැඩම කරවීම සුවිශේෂී සිද්ධියක් විය. කසීභාරද්වාජ සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ එහිදී බුදුරදුන් හා බමුණා අතර පැවැති සාකච්ඡාවයි.

පළමුව බමුණා බුදුරදුන්ට මෙසේ කීය. “භවත් ගෞතමයෙනි, මම සී සාමි, වපුරමි, සී සා වපුරා වළඳමි. ඔබත් සී සා වපුරා වළඳනු මැනවි” එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. නැවත බමුණා බුදුරදුන් අමතමින් “භවත් ගෞතමයන්ගේ ගොවි උපකරණ මම නොදකිමි. අපට ගෞතමයන්ගේ එම උපකරණ මොනවාදැයි වදාරනු මැනවැයි,” කීය. එහි දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

සද්ධාබීජං තපෝවුට්ඨී
පඤ්ඤා මෙ යුගනංගලං
හිරි ඊසා මනො යොත්තං
සති මේ ඵාලපාචනං

“මාගේ ශ්‍රද්ධාව බිජුවටයි. තපස වැසි දහර වෙයි. ප්‍රඥාව විය නගුල් වෙයි. හිරිය (ලජ්ජාව) නගුලිසයි. සිත වියරැහැන් වෙයි. සිහිය මාගේ හී වැල හා කෙවිටයි.” තව දුරටත් බමුණාට කරුණු පහදා දුන් බුදුරදුන් ම විසින් මෙසේ කරන ලද සී සෑමෙහි අමාඵල තිබෙන බවත්, මෙම කෘෂිකර්මාන්තය කොට සී සා හැම දුකකින් ම මිදිය හැකි බවත් දේශනා කළහ. මෙම දේශනාව මනා ලෙස වටහාගත් කසීභාරද්වාජ බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්ව පසුව පැවිදි උපසම්පදාව ද ලැබී ය.

සී සාන උපකරණ සියල්ල සම්පූර්ණ කරගෙන සිටියත්, වැපිරීමට බීජ නොමැති නම් වගා කළ නොහැකි ය. වී වගාවේ මූලික පදනම බීජ වැපිරීමයි. අස්වැන්න ලැබෙනුයේ ඒ තුළිනුයි. එසේම බෞද්ධ ජීවිතයේ මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැති නම් අන් කවර ගුණාංගය තිබුණ ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් ශ්‍රද්ධාව බීජයකට උපමා කොට තිබේ. නිවන නමැති අස්වැන්න ලැබීමට නම් සද්ධාව නමැති බීජය අවශ්‍යමය.

සමහරු “සද්ධා භක්තිය පෙරදැරිව” යන යෙදුමක් ද භාවිතා කරති. මෙහි දී යම් දෙයක් පිළිබඳ භක්තියක් හෙවත් ඇදහීමක් අවශ්‍ය වන්නේ දැකීමක් නොමැති වූ විටය. යමක් තේරුම් ගැනීමෙන් පසුව ඒ ගැන භක්තිය හෝ ඇදහීම පිළිබඳ අවශ්‍යතාවක් ඇති නො වේ. සරල උදාහරණයක්, මඟින් මෙය පැහැදිලි කරන්නේ නම්, මා අත මැණිකක් තිබේ යැයි, කිවහොත් එය ඔබට දැකිය හැකි වේ.


.

එවිට භක්තිය හෝ ඇදහීම හෝ පිළිබඳ ගැටලුවක් ඇති නොවේ. එසේ වූයේ ප්‍රත්‍යක්‍ෂ ලෙස මැණික දක්නට ලැබුණු නිසයි. ඇතැම් ආගමික ඉගැන්වීම්වල පදනම වන්නේ භක්තියයි. එහෙත් බුදු සමයේ මුල්තැන ලැබෙන්නේ භක්තියට නොව අවබෝධයට යි. එබැවින් බුදු සමයේ ඉගැන්වෙන “සද්ධාව” යන වචනය “භක්තිය” “ඇදහීම” යන වචන හා සමාන නොවන බව වටහා ගත යුතු ය.

තවද “අමූලිකා සද්ධා” හා “ආකාරවතී සද්ධා” ලෙස සද්ධාවේ කොටස් දෙකක් තිබේ. මින් තෙරුවන් කෙරෙහි නිවැරැදි අවබෝධයක් නොමැතිව ඇතිකර ගන්නා සද්ධාව “අමූලිකා සද්ධා” ලෙසත් හේතු යුක්ති සහිතව කරුණු දැන, දැක, ඇති කරගන්නා පැහැදීම, “ආකාරවතී සද්ධාව” ලෙසත් විග්‍රහ කෙරේ. මේ අතර අමූලිකා සද්ධාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එහි මුල්තැන ලබා දී ඇත්තේ අවබෝධයට වඩා විශ්වාසයට හා ඇදහීමට යි.

“මෙම ධර්ම කරුණු ගැන මම නොදනිමි. ඒත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන අසීමිත පැහැදීම නිසා මම මෙම කරුණු පිළිගනිමි.” යන අදහස තුළ ඇත්තේ එවන් ඇදහීමකි. මෙය අන්ධයන් ගේ පෙරහරකට උපමා කොට තිබේ.

එහි මුලින් මැදින් හා අගින් යන්නේ අන්ධයින් ය. එකිනෙකාගේ අත අල්ලාගෙන එකිනෙකා පසුපස යන ඔවුන් අතුරෙන් මුලින්, මැදින් හෝ අගින් යන කවරෙකුටවත් පාර නොපෙනේ. මෙබඳු අවබෝධයෙන් තොර අන්ධානුකරණය බෞද්ධ සද්ධාව විෂයෙහි කිසිසේත්ම අදාළ නොවේ.

මේ අනුව සද්ධාව අප ජීවිතයට මනා ආලෝකයක් කොටගෙන අප අපේක්‍ෂා කරන යහපත් අරමුණ වෙත ළඟාවීමට පහසු මඟක් සකසාගත හැකි ය. එය අපගේ මෙලොව පරලොව ජීවිතයේ සාර්ථකත්වයට හේතු වේ.

 – 4 කසීභාරද්‌වාජ සූත්‍රය

ලිපිය >

මා විසින් මෙසේ අසන ලද:

එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ මගධදනවුයෙහි දක්ඛිණාගිරියෙහි ‘එකනාළා’ නම් බමුණුගම්හි වැඩවසනසේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු විසින් වප්දවස්හි පන්සියයක් පමණ නගුල් යොදනලද වෙයි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරුගෙණ කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්මාන්තස්ථානය කරා වැඩිසේක. එසමයෙහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ බත්පිරිවිසීම ඇත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිදැ හිඳුනාතැන් කරා වැඩිසේක. වැඩැ එකත්පසෙක සිටිසේක. කසීභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිටී. දැකැ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය:

“මහණ මම සී සාමි, වපුරමි. සී සා, වපුට වළද කෙරෙමි. මහණ, තොයිත් සී සා, වපුර. සී සා වපුට වළඳව”යි

“බමුණ, මමත් සී සාමි, බිජුවට වපුරමි. සී සා වපුට වළඳමි”යි.

“අපි භවත් ගෞතමයන්ගේ වියගස වේවයි, නගුල් වේවයි, හීවැල් වේවයි, කෙවිට වේවයි, ගෙරිසරක් වේවයි නොදක්මහ. එතෙකුදුවූවත් බවත් ගෞතම මෙසේ කියයි; මම ද බමුණ සී සාමි, වපුරමි, සී සා වපුට වළඳමි” ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:

76. ‘(තෙපි)‘කර්‍ෂකයෙමි’යි ප්‍ර‍තිඥා කරව. තොපගේ කෘෂිභාණ්ඩ නො ද කුම්හ. යම් පරිද්දෙකින් තොපගේ කෘෂිභාණ්ඩ දනුමෝ නම්, එපරිද්දෙන් පුළුවුස්නාලද තෙපි අපට කෘෂිභාණ්ඩ කියව’යි.

77. මාගේ ශ්‍ර‍ද්ධාව බිජුවට වෙයි. තපස වැසිදහර වෙයි, ප්‍ර‍ඥාව විය හා නගුල් වෙයි. හිරිය නගුලිස් වෙයි. චිත්තය වියරැහැන් වෙයි. ස්මෘතිය මාගේ හීවැල හා කෙවිට යි.

78. (ත්‍රිවිධ) කායසුචරිතයෙන් ගුප්තයෙමි. (චතුර්විධ) වාක්සුචරිතයෙන් ගුප්තයෙමි. සිවුපසෙහි (භොජනයෙහි) දු (මාත්‍රඥතායෙන්) සංයතයෙමි. අවිසංවාදන සඞ්ඛ්‍යාත සත්‍යයෙන් කෑම්පීම් කෙරෙමි. (නිවනෙහි ඇලෙන හෙයින් අර්හත් ඵල සඞ්ඛ්‍යාත) සුරතභාවය මාගේ විය මිදීම වෙයි.

79. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) යම් ක්ෂේමයකට ගොස් ශෝක නොකෙරේ නම් ඒ යෝගක්ෂේම (නිර්‍වාණ) ය කරා නො නවත්වමින් යන සම්‍යක්ප්‍ර‍ධානවීර්‍ය්‍යය මාගේ ධුරවාහක වෙයි.

80. මෙසෙයින් (මා විසින් ) තෙල සීසෑම කරන ලදී. ඒ කෘෂිකර්මය අමා ඵල ඇති. තෙල ඇත. තෙල කෘෂිකර්මය කොට සී සා හැම දුකින් මිදේය”යි.

එක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණ මහරන්තලියෙක්හි කිරිපිඩු වඩා “යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්සේ අමෘත ඵලවත් කෘෂිකර්ම කරන්නාහු නම්, භවත් ගෞතමයන් වහන්සේ එබඳු කර්ෂක (ගොවි ) වන්නාහ. භවත් ගෞතමයෝ පායාස වළඳවත්වා”යි. භාග්‍යවතුන් වහන්සේට පිරිනැමී.

81. බ්‍රාහ්මණය, ගාථාභිගීත වූ (ගී ගැයුමින් ලත්) පායාසය මා විසින් වළඳනට නො නිසි යැ. සම්‍යක්ආජීවපාරිශුද්ධිය දක්නා බුදුවරයනට තෙල (චාරිත්‍ර) ධර්ම නොවේ. සර්‍වඥයෝ ගාථාභිගීත භෝජනය පිළිකෙවු කෙරෙති. බ්‍රාහ්මණය, චාරිත්‍ර‍ධර්මය (ලොව්හි) පවතිත් ම ඒකාන්තව්‍යවදාත වූ පය්‍යෙර්‍ෂණය (බුදුවරුන්ගේ) ජීවිතවෘත්තිය වෙයි.

82 (සර්‍වගුණයෙන් පිරිපුන් හෙයින්) කේවලි වූ මහර්ෂී වූ ක්ෂීණාස්‍ර‍ව වූ සන්සුන් කුකුස් ඇති බුදුනුට අන්‍ය ආහාරපානයෙකින් ම උවටන් කරව. යම් හෙයෙකින් ඒ පින් කැමැතියහුට පින්කෙත් වේ ද, එහෙයිනි.

භවත් ගෞතමයන් වහන්ස, එසේ වත් ම මෙ පායාසය මම් කවරකුහට දෙම් දැ? යි.

බමුණ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ දෙවිමිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍ර‍ජායෙහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හො විනා යමකු විසින් ඒ පායාසය වළදන ලද්දේ මොනොවට පරිණාමයට යේ නම්, එබන්දකු නො දක්මි. බමුණ, එකරුණින් තෝ ඒ පායාසය නිල්තණ නැති බිමෙක් හෝ දමව. (එයින් නැසෙන) ප්‍රාණීන් රහිත දියෙහි හෝ උල්පවාලවයි.

ඉක්බිති කසීභාරද්වාජ බමුණු ඒ පායාසය ප්‍රාණීන් රහිත දියෙහි උල්පවාලීය. එකල්හි ඒ පායාසය. දියෙහි බහාලන ලදුයේ, චිච්චිට යන අනුකරණ කෙරෙයි. චිටිචිටි යන අනුකරණ කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍ර‍ව හාත්පසින් දුමයි. යම් සේ දවසක් තැවුනු සීවැලෙක් දියෙහි බහාලනුලදුයේ චිව්චිට යන අනුකරණ කෙරේ ද, හාත්පසින් දුමා ද. අධිමාත්‍ර‍ව හාත්පසින් දුමා ද, එසෙයින් මැ ඒ පායාසය දියෙහි බහාලන ලදුයේ චිව්චිට යන ශබ්ද කෙරෙයි. චිටිචිටි යන ශබ්ද කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍ර‍ව හාත්පසින් දුමයි.

එකල්හි කසීභාරද්වාජ බ්‍රාහ්මණ සංවිග්න වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ පාමුල්හි හිසින් වැඳ හෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේය:

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවැ, භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවැ, ගෞතමයන් වහන්ස, යම් සේ වනාහි යටිකුරු කොට තබනලද්දක් උඩුකුරු කොට තබන්නේ වේ ද, පිළිසන් වූවක් වැසුම් හරණේ වේ ද, මංමුළා වූවකුට හෝ මග කියන්නේ වේද, ඇසි ඇත්තාහු රූ දක්නාහයි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්අයුරින් ධර්මය දෙසන ලද. මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මයද භික්ෂුසඞ්ඝයා ද සරන කොට යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවැදි ලබම්වා උපසපුව ලබම්වයි.

කසීභාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ලැබී ය. උපසපුව ලැබී ය. උපසපුව ලැබූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ එකලා වූයේ කයින් සිතින් වෙන්වූයේ නොපමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ යම් රහත් පලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට මැ ගිහිගෙන් නික්මැ පැවිද්දවට පැමිණෙත් ද,

මාර්‍ගබ්‍ර‍හ්මචර්‍ය්‍යය අවසන් කොට ඇති එ අර්හත් ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් දැනැ පසක් කොට සපයා විසී. ජාතිය ක්ෂීණ වූ යැ, සසුන් බ්‍ර‍ම්සර මගබ්‍රම්සර වස් වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු සොළොස් වැදෑරුම් කරණි කරණී කරණ ලද, පිළිමෙබවට නො එමි යි දැනගති. ආයුෂ්මත් භාරද්වාජ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී යයි.

කසීභාරද්වාජ සූත්‍ර‍ය නිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *