සිවුරේ කතාව

සිවුරේ කතාව

බුදු හිමියන් පවා සිවුරු මැසීමට හවුල් වූ හැටි මේ ලිපියෙන් හෙළි වේ. සිවුර ඇති වූ ආකාරය, එයට හිමි වූ ගෞරවය හා එය සිල්වතුන්ට වෙන් වූ ඇඳුමක් වූ හැටි ද මේ ලිපියෙන් විස්තර වේ.

බුදු රජාණන් වහන්සේ අනඳ මහ තෙරුන් වහන්සේ සමඟ මගධ ක්ෂේත්‍රය මතින් වැඩම කරති. මනා ලෙස නියර බැඳ සකසන ලද ලියැදි සහිත කෙතෙහි සොඳුරු බව බුදු රජාණන් වහන්සේ සිය නිරාමිස ඇසින් දුටුවා විය හැකිය. අනඳ මහ තෙරුන් වහන්සේ ඇමතූ බුදු රජාණන් වහන්සේ මගධ ක්ෂේත්‍රය අනුව භික්ෂු සංඝයාගේ සිවුර මසාගැනීමට උපදෙස් දෙන ලෙස අනුදැන වදාරති.

දෙව්රමට වැඩම කළ අනඳ තෙරුන් වහන්සේම සිතෙහි ඇඳී තිබූ මගධ ක්ෂේත්‍රයෙහි ස්වරූපයට අනුව චීවරයක් මසා බුදු රජාණන් වහන්සේට දක්වති. එම චීවරය වඩා විධිමත් ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් බුදු රජාණන් වහන්සේ අනඳ මහ තෙරුන් වහන්සේට ප්‍රශංසා කරති.

චීවරය අද දක්නට ලැබෙන ආකාරයට සකස් වූයේ ඉහත දක්වන්නට යෙදුණ සිදුවීමෙන් පසුවය. එදා සිට අද දක්වා වූ අවුරුදු දහස් ගණනක කාලය තුළ වෙනස් නොවී පැමිණීම චිවරයේ සම්භාවනියත්වයත් එහි නිවැරදි ගමන් මගත් ප්‍රකට කරයි.

පාලියෙහි චුරාදි ගණයට අයත් “චීව” ධාතුවෙන් හෝ භූ වාදි ගණයට අයත් ඛීවු (භාසායං) (අදානසංවරණේසු) ධාතුවෙන් හෝ “චීවර” යන පදය සැදී ඇති බව පෙනේ. “චීව” ධාතුව බැබළීම් අර්ථයෙහි ද චීවු ධාතුව ගැනිමි, වැළැක්වීම් යන අර්ථයන්හිද යෙදේ. චීවරය දරාගත් භික්ෂුව සකලවිධ ක්ලේශයන් සංවරණය (වැළැක්වීම) කරන හෙයින්ද එනිසාම දිවා රාති‍්‍ර බැබළීමට පත් වන හෙයින්ද චීවර යන්න යෙදී ඇති බව පෙනේ.

චීවරයේ ඉතිහාසය මගධ ක්ෂේත්‍රය පිළිබඳ කථාවෙන් ඔබ්බටද ගමන් කරයි. සිදුහත් බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළ කල්හි පැවිදි වීමට අවශ්‍ය සිවුරු පිරිකර ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලදි. ඒ වන විටද චීවර පරම්පරාවක් භාරතයේ පැවති බව එම සිදුවීමෙන් පැහැදිලි වෙයි. එහෙත් සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත් වීමත් සමඟ ම පැරණි චීවරයට තව අර්ථකථනයක් ලැබිණ.

කොණ්ඩඤ්ඤ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වී ඔහු ප්‍රමුඛ පස්වග තවුසන් භික්ෂූන් ලෙසින් බුද්ධපුත්‍රයන් බවට පත් වීමෙන් ඇරඹි නව චීවර පරම්පරාව ක්‍රමයෙන් භාරතයේ සිව් දිගම පැතිර ගියේය. එම පරම්පරාවට අයත් වූවන් අතර සැරියුත් මහ රහතන් වහන්සේ වැනි ඤාණයෙන් අග්‍ර වූවෝද, මුගලන් මහ රහතන් වහන්සේ වැනි ඍද්ධියෙන් අග්‍ර වූවෝද, ආනන්ද මහ රහතන් වහන්සේ වැනි ස්මෘතියෙන් අග්‍ර වූවෝද, සුනාපරන්තයට වැඩම කළ පුණ්ණ තෙරුන් වහන්සේ වැනි මහා ක්ෂාන්තියෙන් අග්‍ර වූවෝද වෙති.

කඩ කපා මහන ලද හෙයින් වස්ත්‍රයෙහි වාණිජ අගය අඩු වුවද චීවරයේ බොහෝ කල් පැවැත්මට එය ම හේතුවක් විය.

සිතෝෂ්ණාදි වූ ස්වාභාවික තත්ත්වයන්ගෙන් විය හැකි පීඩාවන් දුරු කරගැනීමට චීවරය උපකාර වූවා සේම චීවරය පෙරවූවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හා එක් වීමෙන් එය පූජනීයත්වයට පත් වූවා පමණක් නොව, මහා බලසම්පන්නද විය.

චණ්ඩ බවට පත් මනසකින් මෙහෙයවනු ලැබ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වීම නිසා ම චණ්ඩාශෝක නමින් හඳුන්වනු ලැබූ අශෝකාධිරාජයා ධර්මාශෝක බවට පත් වන්නට හේතු වූයේ හුදෙකලාවම වැඩම කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනයයි. සන්සුන් ඉඳුරන් සහිතව ආධාත්මික ශක්තියකින් යුක්ත වූවකු හා එක් වූ චීවරයේ බලය එබඳුය.

ගැමුණු කුමරු හා තිස්ස කුමරු ඔවුනොවුනට එරෙහිව යුද වදින්නට වූ විට භික්ෂූන් වහන්සේ පන්සිය නමක් ඔවුන් වෙත වැඩම කොට අවවාද කිරීමෙන් සමගි සම්පන්න කළහ. එම අවස්ථාවේදී ගැමුණු කුමරු කියා සිටියේ ඔබ වහන්සේලා කරදර වූයේ කුමකටද? සත් හැවිරිදි සාමණේර නමක් වුව අප වෙත එවූ නම් අප අතර කලහයක් නොවන්නේය යන්නයි.

දේශය විපතට පත් වූ මොහොතක විපතින් දේශය නිදහස් කරගැනීමේ ශක්තිය හා අවශ්‍යතාව ඇත්තවුන් ඔවුනොවුන් හා කලහ කරත් නම් දේශය තවත් ව්‍යසනයකට ඇදදැමුවා වන්නේ ය. ඒ බව වටහාගත් තිස්ස සහ මහා තිස්ස යන තෙරුන් වහන්සේලා වනගතව දේශය නිදහස් කරගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරමින් සිටියදී වළගම්බා රජු හා ඇමැතියන් අතර ඇති වූ කලහය සංසිඳුවා ඔවුන් සමගියට පත් කළහ. ඓතිහාසික උඩරට ගිවිසුම අස්සන් කරන්නට කටයුතු යෙදී තුබුණු අවස්ථාවේ අනියම් ලෙසින් ජනතාවකගේ අභිමානයට අභියෝග කරන විට වාරියපොළ සුමංගල මාහිමියෝ සාධාරණය පෙන්වා නිවැරදි යති ජීවිතය හා එක් වූ චීවර පරම්පරාවේ බලයත් යති ජීවිතයේ බිය රහිත බවත් ප්‍රකට කළහ.

චීවරයෙන් සංකේතවත් කරන මහා ශක්තිය එබඳු වැඩදායක ශක්තියක්ම වෙයි. අඛණ්ඩ පරම්පරාවක් අවුරුදු දහස් ගණනක කාලයක් පුරා පැවත ඒමත් චීවරය පෙරවාගත් උතුමන් වෙතින් ඊට ලැබුණු ආධ්‍යාත්මික ශක්තියත් චීවරයට එම බලය ලබා දී ඇත.

චීවරය හැම විටෙකම සංකේතවත් කරනුයේ සුන්දර වූත් අර්ථවත් වූත් පූජනීය යති ජීවිතයයි.

මජ්ක්‍ධිමනිකායේ බ්‍රහ්මායු සූත්‍රයේ එන විස්තරයක් අනුව ඒ උත්තම චීවරය බුදු හිමියන් පෙරෙවි කල්හි නෙත් සිත් පහන් කරවන සුන්දරතම දර්ශනය වූවාට සැක නැත. බුදු හිමියන්ගේ චර්යාවන් විමසමින් සත් මසක් උන් වහන්සේ පසුපස හඹාගිය උත්තර නම් බ්‍රාහ්මණ මාණවකයා ඒ සුන්දර දර්ශනය දුටුවේය; දැක, සිය ගුරුවරයා වූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට වර්තා කළේය. ඒ මෙපරිද්දෙනි:

“ඒ තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි සිවුර ඉතා පහත් වූයේද නොවෙයි; ඉතා උස් වූයේද නොවෙයි; සිරුරෙහි ඇළුණේද නොවෙයි; සිරුරෙන් බැහැර ගියේද නොවෙයි.”


.

සිවුර පෙරවනු ලැබීමෙන් ආනන්දයට හෙවත් සතුටට පත් නොවූ නන්ද අවපසට පැමිණි පුන්සඳ රැය කෙළවර ළා හිරු කිරණ වැදීමෙන් සුදුමැලි වන්නාක් මෙන් ශෝභා රහිත විය. ඒ නන්ද ම ආනන්දය හෙවත් නිවන සාක්ෂාත් කළ කල්හි, නන්ද තෙරුන් වහන්සේ ලෙස බුදු හිමියන්ට නමස්කාර කරන විට සුළඟින් සැලෙන තඹවන් ළපලුයෙන් හෙබි, මලින් බබළන කිණිහිරි ගසක් මෙන් ශෝභාමාන වූහ:

“… වාතෙරිතඞ පල්ලවරාතාම්‍රඞ
පුෂ්පෝජ්වලශ්‍රීරීව කර්ණිකාරඞ.”

මේ විස්තරය පශ්වාත්කාලීන වූවකි, ඒ සුන්දර පදය හෙවත් නිවන අවබෝධ කිරීම නිසා සුන්දර වූ නන්ද පිළිබඳ කථාව මුල් කොටගෙන සෞන්දරනන්ද නමින් සංස්කෘත භාෂාවෙන් මහාකාව්‍යයක් ලියූ අශ්වඝෝෂ හිමියන් විසින් කරන ලද්දකි.

මහාකාශ්‍යප, ශාරිපුත්‍ර, ආනන්ද යන තෙරවරුන් ප්‍රධාන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේගේ සිවුර මහන විට අනෙක් භික්ෂු සංඝයා වහන්සේ නූල් සකස් කොට දුන්හ. සකස් කළ නූල් බුදු හිමියෝ ඉදිකටුවලට අමුණා දුන්හ. මුගලන් තෙරුන් වහන්සේ “අත්වැඩ” දුන්හයි යනුවෙන් ප්‍රකට පුවත ධම්මපදට්ඨකථාවේ එන්නකි. ඒ සිවුරු මැසීම මහඟු කටයුත්තක් බව එයින් කියැවෙයි.

සිවුරු දානයද මහඟු පින්කමක් වෙයි. භද්දාකුණ්ඩලකේසී තෙරණියට සිවුරු පූජා කළ දායකයකු මහත් වූ පින් ලැබූ බව ථේරිගාථාහි සඳහන් වී තිබේ. සුමේධ සම්බුදුරදුන්ගේ සිවුර මැසීමට ඉදිකටු පරිත්‍යාග කළ අයකු සුචිදායකත්ථේර නමින් ගෞතම සම්බුදුරදුන් හමුවේ පැවිදි වී සියුම් නුවණක්ද ලැබූ බව අපදානපාළියේ සඳහන් වී තිබේ. ලාභීන් අතුරෙන් අගතැන් ලැබූ බක්කුල තෙරුන් වහන්සේට පැවිදි වී ගත කළ අවුරුදු අසූවක කාලය තුළ සිවුරුවලින්ද අඩුවක් නොවූ බව මජ්ක්‍ධිමනිකායේ බක්කුල සූත්‍රයේ සඳහන් වී තිබේ.

එමෙන්ම උපසේන තෙරණුවෝ කසළ ගොඩෙන්, සුසානයෙන් අහුලාගත් රෙදිකඩ එකතු කොට මසාගත් රළු සඟළ සිවුරෙන් සෑහීමට පත් වූහ. ලූඛ හෙවත් රළු සිවුරු දරන්නවුන් අතරින් මෝඝරාජ තෙරණුවෝ අගතැන් පත් වූහ. සුන්දරී තෙරණියත් සුභාකම්මාරධීතා තෙරණියත් පාංශුකූල චීවර දැරූහයි ථේරිගාථාහී සඳහන් වේ. ලූඛ සිවුරු දරන භික්ෂුණින් අතරින් කිසාගෝතමී තෙරණියෝ අගතැන් පත් වූහයි ඒතදග්ගපාළියෙහි සඳහන් වේ.

කුසල් වැඩෙන, අකුසල් පිරිහෙන සිවුර සේවනය කළ යුතු වුවත් අකුසල් වැඩෙන කුසල් පිරිහෙන සිවුර සේවනය නොකළ යුතු බව මජ්ක්‍ධිමනිකාය සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රයේ සඳහන් වී තිබේ.

එමෙන්ම දුසිල්වත්ව සිට ශ්‍රද්ධාදෙය්‍ය වූ හෙවත් ශ්‍රද්ධාවෙන් පූජා කළ චීවරය පෙරවීම ගිනිගෙන දිලිසෙන යකඩ පටිවලින් ශරීරය වෙළීමක් හා සමාන බවත් යමකු දුසිල්වත්ව සිට ශ්‍රද්ධාදෙය්‍ය වූ චීවරය පෙරවා නම් එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස, පවත්නා බවත් අංගුත්තරනිකාය අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ සඳහන් වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *